Pages

Friday, February 25, 2011

apa kauda? | අප කවුද ?

අප කවුද?

දෙවියන් වහන්සේ ලෝකය මැවීමෙන් පසු අහසත්, පොළවත්, මිහිමත සියල්ලත් යහපත්ව තිබූ බව ශුද්ධ බයිබලයේ සඳහන් වේ. උප්පත්ති කතාවේ එන එම අදහසට අනුව උන්වහන්සේ ලෝකය මැවීමෙන් පසු සතා සී පාවා වුවද එකිනෙකා මරා ගන්නේ නැතිව සාමයෙන් සහජීවනයෙන් ජීවත් වූ බව කියැවේ. මෙය උන්වහන්සේගේ දේව සැලැස්ම ලෙස පිළිගැනේ. ශුද්ධ වූ අල් කෝරානයේත් ගුරු නනක් විසින් දෙවියන්ගෙන් අසා ලියූ සීක් ශුද්ධ ග‍්‍රන්ථයේ ත් මීට සමාන්තර අදහසක් ලෝක ආරම්භය පිළිබඳව සඳහන්ය. හින්දු ආගමික විශ්වාසයට අනුව නම් සර්ව බලධාරී එකම දෙවියන් වහන්සේ කෙනෙකු වෙනුවට අති මහත් දේව සමාජයකට ම අධිපතිකම් කරනා මහා බ‍්‍රහ්ම නම්, ‘විශ්වපති’ කෙනෙක් වෙති. උන්වහන්සේ ලෝකය මැවූ බවත්, එසේ මැවූ ලෝකයේ මිනිසා ද උන්වහන්සේගේ යම් සැලැස්මකට අනුව පිහිටුවා ඇති බවත් කියැවේ මහා බ‍්‍රහ්ම විසින් වර්ග කිහිපයකින්ම සිය හිසේ සිට සිරුරේ ස්ථාන කිහිපයකින් ම මනුෂ්‍යයා මැවූ බවත් කියැවේ. ඒ අනුව සමස්ථ සමාජය ම මහා බ‍්‍රහ්මගේ කැමැත්තට අනුව වෙනස් කළ නොහැකි පරිද්දෙන් මිනිසාගේ පැවැත්ම උදෙසා ම ප‍්‍රධාන කුල සතරකට බෙදා දූරාවලිගත කොට ඇති බවත් කියැවේ. දුක හෝ සැප වශයෙන් ඇත්තේ මහා බ‍්‍රහ්මයා කර ඇති නියමයක ප‍්‍රතිඵලය බවත් දේව නියමයට පිටුපෑම හෙවත් ‘පාපය’ යනුවෙන් අනුදක්නා දෙයට අර මහා දේව සමාජයෙන් දඬුවම් ද යහපත් දෙයට ආශිර්වාදය ද ලැබෙන බවත් කියති. මේ අනුව සර්ව බලධාරී එක් දෙවි කෙනෙකු වෙනුවට පෙළපත් ගණනාවක් හෙවත් දේව ගෝත‍්‍ර ගණනාවක් විසින් මනුෂ්‍යයාගේ ඉරණම පාලනය කරන බව මෙ මඟින් පෙන්නුම් කැරේ. හින්දු කෝවිල් වල ඉදිරි කොටසෙහි පියස්ස සැරසීමට යොදා ගැනෙන්නේ ඒ ඒ කෝවිලට අයත් දේව පෙළපතෙහි පිලිවෙලට අනුව එන සාමාජිකයන් ගේ රූප යැයි කියති මෙම හින්දු විශ්වාසය ට ඒ හැටියටම සමාන නො වූවත් මීට යම් සමාන්තර බවක් පැරණි ග‍්‍රීක දේව විශ්වාසයන් තුළි න් ද දක්නට ලැබේ. මහා බ‍්‍රහ්ම වැනි බලවත් දේව සමාජයකට (පැන්තියමකට) අධිපති කම් කරන විශ්වපති කෙනෙකු ගී‍්‍රක දේව ලබ්ධිය තුළ ද දක්නට ලැබේ. එම ‘විශ්වපති’ ගේ නම වූයේ සියුස්ය. මිනිස් සමාජය විසින් ඒ වන විට හඳුනාගෙන තිබූ රූමත් කම, ආදරය, රාගය, පේ‍්‍රමය, විනාශය, ප‍්‍රඥාව, දැනුම, වාසනාව, දියුණුව, ආරක්‍ෂාව ආදී විවිධ ගුණාංග නියෝජනය කරන දෙවිවරුන් හින්දු ලබ්ධිය තුලත් පුරාණ ග‍්‍රීක දේව ලබ්ධිය තුළත් සමාන ආකාරයකින් දක්නට ලැබේ. මෙම දෙවිවරුන් හා ඔවුන්ගේ පුරාවෘත්ත පිළිබඳව ඇත්තේ ද ඉතා මනහර අභූතාලංකාරවාදී කතා ප‍්‍රවෘත්තීන්ය. කොයි ලබ්ධියට අයත් වුනත් ඒවායේ සෞන්දර්යාත්මක මට්ටම මෙන්ම ඥාණවිභාගාත්මක මට්ටමත් වැඩි වෙනසක් නැත. වර්තමානයේ බිහිවන සාහිත්‍ය කෘතින්ට ද මේවායෙන් ගලා එන බලපෑම අඩුවක් වි නැත.

ඇතැම් ආගමික විද්‍යාර්ථීන්ගේ මතය වන්නේ පසුකලෙක උපත ලද්දේයැයි සැලකෙන ඒකදේවමූල ලබ්ධීන් එනම් කතෝලික- ක‍්‍රිස්තියානි ධර්මයත් ඉස්ලාම් ධර්මයත් පදනම් කරගනු ලබන සර්වබලධාරි දෙවියන් එනම් යෙහෝවා: මෙන්ම අල්ලා: යන දෙදෙනාම අර ආදි කාලීන ග‍්‍රීක මිථ්‍යා දේව විශ්වාසයන් අතර සිටි සියුස් ගේම පරිණාමයක් බවය. කෙසේ වුවද සියුස් - යෙහෝවා: අල්ලා: මහා බ‍්‍රහ්ම යන කොයි ‘විශ්වපති’ ත් ලෝකය මැවූ බවත් උන්වහන්සේලා මැවුම්කාරයන් බවත් ඒ ඒ කොයි ආගමේත් පිළිගැනීමය.

මෙහිදී බ‍්‍රහ්ම මැවුම්වාදය විශ්වාස කරන හින්දු ඉගැන්වීම් වලට අනුව ලෝකය එදත් - අදත් හෙටත් ඒකාකාරව පවතින බවත්, මහා දේව සමූහයක් මෙන්ම අදේව සමූහයක් ද මිනිසා ගේ ඉරණම කෙරෙහි බලපෑම් කරන බවත් විශ්වාස කරති. හින්දු ජන සමාජයට මෙම දේව සමාජයෙන් මෙන්ම අර අදේව (අසුර) සමාජයෙන් ද හොඳ හෝ නරක දේ වෙනුවෙන් පිහිට ලබාගත හැකිය. යක්‍ෂ, පේ‍්‍රත, කුම්භාණ්ඩ, පිසාචා දී වු තවත් අමුනුෂ්‍ය ලෝක යථාර්ථයක් පිළිගන්නා හින්දු ආගමික විශ්වාස පද්ධතිය, ගයනා කිරීමෙන් ම උපදින සවරයේ බලයක් ඇතැයි යන පිලිගැනීම මත සූත‍්‍ර ගතකොට ඇති මන්ත‍්‍ර නම් වූ ගායනා විශේෂය ස්ථාන ගතකොට ඇත්තේ ද මෙම දේව - අදේව ලෝක දෙකම පදනම් කර ගැනීමෙන් ය.

අනෙක් ඒක දේවමූල ආගම් දෙකට අනුව දෙවියන් වහන්සේට එරෙහිව පෙනී සිටින්නේ එක් නපුරු බලවේගයක් පමණි. ඒ දේව ඉතිහාසයට අනුව ඈත අතීතයේ දේව සභාවේ (පැන්තියමයේ) හටගත් එක්තරා මතභේදයක් සමනය කර ගැනීමට නොහැකිව අන්තිමේ දී ඉන් නෙරපා හැරීමට ලක් වූ ලූසිපර් නම් දේව සාමාජිකයා ය. නිරයට ඇද දැමුණු පසුව හෙතෙම නිරයේ අධිපති බවට පත්විය. සාතන් නමින් හැඳින්වූ ඔහු දෙවියන්ගේ සෑම යහපත් ප‍්‍රයත්නයක් ම ව්‍යවර්ථ කිරීමේ අරමුණ ඇතිව කි‍්‍රයාත්මක වෙයි. අර ලූසිපර් හෙවත් යක්‍ෂයාගේ බලවේගය විවිධ ආකාරයෙන් රුදුරු ලෙසත් කපටි ලෙසත් කුමන ආකාරයකින් හෝ මිනිස් සත්ත්වයා අතර හැසිරේ. දේව සැලැස්ම අවුල් කිරීම ඔහුගේ එකම අරමුණය ආරම්භයේදි මිහිමත සියල්ල යහපත්ව දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදිම උන්වහන්සේගේ සැලැස්මට අනුවම පවතිද්දී තම අවස්ථාව එනතෙක් කි‍්‍රයාත්මක වීමට බලා සිටි යක්‍ෂයා ලද සුලූ අවසරයකින් එක්තරා මොහොතකදී ලොවට නපුර ඇතුළු කිරීම නිසා ලෝකයේ පැවැත්ම එතැන් සිට අයහපත් වූ බව එම දේව ඇදහිලිවලට අනුව විශ්වාස කෙරේ. ආදම් හා ඒවා පිළිබඳ විචිත‍්‍ර කතා ප‍්‍රවෘත්තිය මගින් විස්තර කෙරෙන්නේ එයයි.

ශුද්ධ බයිබලයේත් ශුද්ධ කෝරානයේත් සාමාන්තර ගත සමාන ලක්‍ෂණ බහුලව දක්නට ලැබෙන අතර ලෝක ආරම්භවාදය මෙහිදී ප‍්‍රමුඛ වැදගත් කමක් දරයි. ආරම්භයේදි අහසත් මහපොලවත් ඒ මත වූ සියල්ලත් යහපත්ව පැවැතුනා යයි කීමත්, එම යහපත් ව පැවැති ලෝකය යක්‍ෂයාගේ නපුරුකමින් දූෂ්‍ය වූ බව කීමත් අදවන විට මුලූ මිහිතලම අයහපත් තැනක් වී ඇති බව පිලිගැනීමත් ඒ ආකාර සමාන්තර අදහස් ලෙස පෙනෙන තැන්ය.

පාපයෙන් දූෂ්‍ය වූ ලෝකය තුළ දේව විශ්වාසයෙන් ඈත් වීම නිමක් නැති කරදර, කම් - කටොලූ හා අර්බුද ඔහුගේ (මිනිසාගේ) පැවැත්මට එල්ල වීමට හේතු වී ඇති බවත්, ඒ මඟින් තර්ජනයට ලක්ව ඇති මිනිස් ජීවිතයට නිදහසක් විමුක්තියක් ලබාගත හැකි වන්නේ වඩ වඩාත් දෙවියන් විශ්වාස කිරීමෙන් උන්වහන්සේට සමීපවීම මඟින් බවත් යැයි මෙම ආගම්වලට අනුව කියැවේ. මතු අනාගතයේ යම් දිනෙක මේ මිහිතලය මත ඇති සියල්ල වැනසී ගිය පසු (හෝ දෙවියන් විසින් වනසා දමා) ඉදි කරනු ලබන උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුලූ වී සදාකල් ජීවනය අත් විඳීමට උන්වහන්සේට සමීපවීම තුලින් මිනිසාට ඉඩ සැලසෙන බව එම ලබ්ධින්ගේ බලාපොරොත්තුවය. මෙම අවස්ථාව එනතෙක් මිනිසා සිය ආත්මය පවිත‍්‍රව තබාගත යුතු අතර ඒ සඳහා නිතිපතා දෙවියන් සඳහා යාච්ඤා කළ යුතුවේ. (ඉස්ලාම් ධර්මයට අනුව දිනකට 5 වතාවක්) එමෙන් ම දෙවියන්ගේ නියමයන්ට හෙවත් ධර්ම පාඨ වලට අනුව ජීවත් විය යුතුය. තවද වෙනත් ලබ්ධීන්ට නතු වී සිටින මනුෂ්‍යයන් ඒවායෙන් මුදවා ගනිමින් මේ සම්‍යක් දෘෂ්ඨික මාර්ගයට ඇතුලත් කරගත යුතුය. මෙම ආගම් ස්වභාවය වන්නේ ඇදහීම හෙවත් විශ්වාසයට මුල් තැනක් ලබාදීමය. එ මෙන්ම මෙම ඇදහීම්, සිය ඇදහීම්වලට පිටින් පවත්නා තවත් එ වැනි ඇදහීමක් තම ලබ්ධියට කෙතරම් සමාන්තර ගත වුවද දෙකේම කොතරම් සමාන පොදු පිළිගැනීම් තිබුණ ද එය සැලකෙනුයේ මිත්‍යා දෘෂ්ඨියක් වශයෙනි. නැතහොත් නපුරු බලවේග හෙවත් යක්ෂයා නියෝජනය කරන රූපයක් හැටියටය. සම්‍යක් දෘෂ්ඨිය හා මිත්‍යා දෘෂ්ඨිය වශයෙන් කෙරෙන මූලික වර්ගීකරණයට අනුව තමන් පිළිගනු ලබන දෘෂ්ඨිය සම්‍යක් දෘෂ්ඨිය හැටියටත් සෙසු දෘෂ්ඨීන් මිත්‍යා දෘෂ්ඨීන් හැටියටත් සැලකේ. මෙම ප‍්‍රතිවිරෝධය මූලික ධාරාවන් අතර පමණක් නොව එකම ධාරාවේ ප‍්‍රභේධ අතරද පවත්නා ප‍්‍රතිිවිරෝධයකි. ඒ අනුව අන්‍ය ප‍්‍රබේධය හෝ නිකාය පවා සලකනුයේ මිථ්‍යා දෘෂ්ඨිය හැටියටය. (සුන්නි-ෂියා මුස්ලිම් නිකාය බේදය සෙවන්ත් ඬේ ඇඞ්වෙන්ටිස්ට් නිකාය හා අනෙක් කි‍්‍රස්තියානි නිකාය න් අතර බේදය මෙන්ම කතෝලික මුල් පිලිගැනීම් හා පසු පිළිගැනීම් අතර ඇති ප‍්‍රතිවිරෝධතා) ආගමික පිළිගැනීම්වල ඇති පාඨ හෝ වගන්ති, එහෙමන් නැත්නම් ඇතැම් තර්ක වඩාත් අන්තයක් කරා දිගු කිරීමෙන් අර මිථ්‍යා දෘෂ්ඨිය ලෙස හඳුනා ගන්නා අනෙක් ලබ්ධිය, දෙවියන්ගේ සතුරා නියෝජනය කරනා නපුරු බලවේගයක් ය යන ආකල්පය හා නිගමනය යටතේ වනසාලීමට පවා මෙම අන්තවාදී විශ්වාසයන් ඇතැම් විට පෙළැඹේ. එසේ අන්තවාදී බලවේග මූල ධම_වාදී නිකායන් ලෙස හැඳින්වේ. මිත්‍යා දෘෂ්ඨිකයන් කායිකව විනාශ කර දැමීම යනු නපුරු බලවේගයෙන් එල්ල වන තර්ජනය මැඩ පැවැත්වීමක් ලෙසත්, එය දෙවියන් අනාගතයේ මිහිමත තනණා රාජ්‍යයට ඇතුළු වීම සඳහා කෙරෙන මහඟු පුණ්‍ය කර්මයක් ලෙසත් ඒ මූලධර්ම වාදීන් විසින් සලකනු ලැබේ. මිථ්‍යා දෘෂ්ඨිකයා මරා දැමීමෙන් මිථ්‍යා දෘෂ්ඨිය ව්‍යාප්ත වීම නවතින බවත් මෙම ගැටුම්වලින් කවුරු මිය ගියත් මිය යන අය ඔවුන් දරන දෘෂ්ඨියේ හැටියට නිරයටත් ස්වර්ගයටත් ගමන් ගන්නා බව ඔවුන් විශ්වාස කරති.

මේ අනුව මුලධර්මවාදය, ආගමික ඉගැන්වීම් නිගාමි අන්තයකට ගෙන යාම තුළින් උපදින බව පිළිගැනීමට අපට සිදුවේ. එ මඟින් මිනිසාගේ ව්‍යවහාරික ඥානයටත් විචාරශීලී බුද්ධියටත් අගුල් වැටේ. මේ අනුව දේව ඇදහිලි හෝ ධර්ම පාඨ කෙරෙහි ව්‍යවහාරික හෝ විචාර ශීලිව ප‍්‍රශ්ණ කරන තැනැත්තාද අයත් වන්නේ දෙවියන් ගැන සැක කිරීම ස`දහා පුන්‍ය වන්තයින් නොමග යැවීම ට යක්‍ෂයා විසින් මෙහෙය වනු ලබන මාර දූතයන් ලෙසයි. හෙවත් දේව විශ්වාස ප‍්‍රශ්න කරන්නට පැමිණි දෙවියන් ගේ සතුරෙකු හැටියටය. ඒ නිසා මූලධර්ම උම්මන්තකයා ඉදිරියේ තර්කනය හා විචාරය යනු මරණයට මාවතකි. යුරෝපයේ අ`දුරු යුගයේ ආගමික දෘෂ්ඨිය මුල් කොටගත් බිහිසුණු ඝාතන හා මෑත කාලයේ ප‍්‍රකට සාහිත්‍යධරයෙකු වන සල්මාන් රුෂ්ඩි මහතාට මුහුන දෙන්නට සිදුවී ඇති අකරතැබ්බය ඊට උදාහරණයකි

භාරතීය සංදර්භය තුළ උපන් බෞද්ධාගමික ඉගැන්වීම්වල පෙර සඳහන් කළ ආගම් වලදී දක්නට ලැබෙන ආකාරයේ ලෝකාරම්භවාදයක් දක්නට ලැබෙන්නේ නැත. ලෝකයේ ආරම්භය හෝ අවසානයක් වෙනුවට සත්ත්වයාගේ පැවැත්මේ ආකාරය හෙවත් යානත‍්‍රණය කුමක්දැයි යන්න ගැන සෙවීම එහි අරමුණ වී තිබේ. ලෝකය යන අදහසට තරමක් සමීප භවය යන්න අනන්ත පැවැත්මක් බව එහි පිළිගැනීමයිි. අනෙක් අතට බෞද්ධ ධර්මය සිය විෂය ක්ෂේත‍්‍රය මිනිසා පමනක් නොව තිරිසන් සත්වයා මෙන්ම ඇසට නොපෙනෙන අමනුෂ්‍ය සත්වයා ද ඇතුලත් කර ගන්නා ලෝකයක පැවැත්මේ ආකාරය ගැන සිය අවධානය යොමු කරයි එම සත්ව ලෝක වල පැවැත්මේ ආකාරය යැයි සොයා ගන්නා ලද යාන්ත‍්‍රනයකට අනුව සත්වයා මුහුණ දෙමින් ඉන්නා දශාවනට පිළියම් සෙවීම එම ධර්මයේ අරමුණ බව පෙනේ ඒ අනුව බෞද්ධ ධර්මය මීට පෙර හඳුන්වනු ලද ආගම්වල එන විශ්වාසය හා ඇදහීම වෙනුවට විචාරශීලීව ප‍්‍රශ්න කිරීමත් තර්කනය තුළින් සත්‍ය (සත්තවයාගේ පැවැත්මේ ආකාරය)ගවේශනය කිරීමත් පදනම වී ඇති බැවින් එය වඩාත් දාර්ශනික ස්වභාවයක් උසුලයි. අනෙකුත් ආගම් බිහිවූ ඓතිහාසික පරිසරයත් සමාජයීය සාධක වලටත් වඩා වෙනස් වූ තත්ත්වයන් තුළ එනම් සරුසාර අතිරික්තයක් නිපදැවුණු දාර්ශණිකයන් නඩත්තු කළ හැකි සමාජ පරිසරයක් තුළ බෞද්ධාගම බිහිවීම ඊට හේතුවන්නට ඇති බව විද්වතුන්ගේ මතයයි. (මැක්ස් වේබර්) බුද්ධ කාලය වනාහී ඉන්දියානු සමාජයේ වඩාත් සංවර්ධිත අවධියක් පෙන්නුම් කළ කාලයක් මෙන්ම එකිනෙක පරයා නැගී සිටින්නා වූ දාර්ශණික ගුරුකල හා දර්ශන, මතවාද රාශියක් පැන නැගී කාලවකවානුවක් ය යන්න අපගේ අවධානයට ලක්විය යුතුය. ලොව අනෙකුත් ශාස්තෘන්ට වෙනස්ව සිද්ධාර්ථ ගෞතම බුදුන් (ගෞතම යනු උන්වහන්සේගේ ගෝත‍්‍ර නාමය වූ අතර සිද්ධාර්ථ හෙවත් සිදුහත් උන්වහන්සේගේ පුද්ගල නාමය විය). සශ‍්‍රීක, සමෘධිමත් රාජ්‍යයක රජ කුමරුවකු වශයෙන් සිට ආගමික ශාස්තෘන් කෙනෙකු වූ අයෙකු බව මෙහිදී සිහි කටයුතුය. උන්වහන්සේ විශිෂ්ඨ ගනයේ ගුරුවරුන්ගෙන් විශිෂ්ඨ ගනයේ අධ්‍යාපනයක් ලැබීමටත් අවස්ථාව ලැබූ ශාස්තෘන් කෙනෙකු බව තේරුම් ගැනීම අතිශයින්ම වැදගත්ය. මන්ද කියනවානම් සියළු සැප සම්පත් ලද රජ කුමරුවකු වූ නිසා සම කාලීන ශිෂ්ටාචාරය අත්පත් කරගෙන තිබූ දැනුම ලබා ගැනීමට උන්වහන්සේට පහසුකම් තිබිමය. උන්වහන්සේගේ ගුරුවරුන් පවා බැ?රුම් දාර්ශනික ගුරුකුල සමඟ උරෙනුර ගැටුනු දාර්ශණිකයන් බව මෙහිලා සඳහන් කළ යුතුය. මෙය වැදගත් වන්නේ විශ්වාසය වෙනුවට ප‍්‍රශ්න කිරීම ම ආගමක පදනම වශයෙන් තබා ගැනීමට හැකිවූයේ කෙසේද? යන්නට යම් ආලෝකයක් ලබා ගැනීමටය.

මේ ස්වභාවය නිසාම ආරම්භක බෞද්ධ ධර්මය හෙවත් සම්භාව්‍ය බුදු දහම, පොහොසත්, දැන උගත් බුද්ධිමත් වියතුන්ගේ සම්භාවනාවට පාත‍්‍රවූ ප‍්‍රභූ ආගමක් වූ බව විද්වත් මතයයි. එදිනෙදා ජීවිතයේ මතුවන ප‍්‍රාථමික ගැටලූවලට අධ්‍යාත්මික පිළිසරණක් ලබා දෙනවාට වඩා වෙනස්ව, සියලූ ලෞකික සැප අත් විඳ සංතෘප්ත ජීවිතයක් ගත කළ, එහෙත් උත්තර ජීවිතය පිළිබඳ දාර්ශනික ගැටලූවලට පිළිතුරු සොයමින් සිටි සමාජයකට උන්වහන්සේගේ දර්ශණය හැර සරල නො ගැඹුරු අන් දහමක් ආකර්ශණය නොවන්නට ඇත. විශ්වාසය මත පදනම් වූ හින්දු ධර්මය පොදු ජනයා අතර ව්‍යාප්ත වීමත් බෞද්ධ ධර්මය ප‍්‍රභූ නාගරික සමාජය අතර ව්‍යාප්ත වීමත් මගින් පෙනෙන්නේ එයයි ඒ නිසා සතුරු ආක‍්‍රමණ වලදී ප‍්‍රභූ පන්තිය වැනසීමට ලක්වු බැවින් ඒ සමඟ බෞද්ධාගම ද විනාශ වූ බව සමාජ විද්‍යාඥයන් හා ඉතිහාසඥයන් දරන අදහසකි. වර්තමානයේ මැද පෙරදිගත් ඉන්දියාව හා ගිණිකොන දිග ආසියාවේත් ඉස්ලාම් ධර්මය පැතිර පවත්නා ප‍්‍රදේශ වූ කලී පෙර කළ බෞද්ධ ධර්මය ප‍්‍රචලිතව පැවති ප‍්‍රදේශ වශයෙන් පැවැති භූගෝලීය කලාප බව කියති. තවද ඒවායේ සිටි රාජ පරම්පරා සහ ප‍්‍රභූ සමාජ එහෙම පිිටින් ම වනසා දේපල මංකොල්ල කෑමෙන් පසු ආගම ද විනාශ වූ බව ඉතිහාස කරුවන් ගේ මතයයි.

මේ අනුව බෞද්ධ ධර්මයේ ඥාන විභාගාත්මක් මට්ටම ඉතා ඉහළ තත්ත්වයක පිහිටීමට හේතු වී ඇත්තේ ද එය බිහිවූ ඓතිහාසික හා සමාජ පසුබිම බව සිතිය හැකිය. මුලින් ස`දහන් කළ පරිදි මෙ කල සිද්ධාර්ථ ගෞතම තවුසානන් ට පමණක් නොව උන්වහන්සේ ගේ ගුරුවරුන්ට ද බලපෑම් කළාවූ බොහෝ දර්ශණ හා මතවාද ඉන්දියාවේ පැවැති අතර ශූන්‍යතාවාදය ඉන් ප‍්‍රමුඛත්වයක් ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. සාමාන්‍ය වත්, පිළිවෙත් හා ශික්‍ෂා පාඨ විනය වැනි දේට වඩා බෞද්ධ දර්ශනයේ හරයට කර ඇති බලපෑම මෙහිදී වැදගත් කොට සැලකුවහොත් ශූන්‍යතාවාදය ඉතා වැදගත් ප‍්‍රබල දර්ශනික ගුරුකුලයක් බව පැහැදිලිවේ.

ශූන්‍යතාවාදයේ එක් දාර්ශණික ශාඛාවක් වූ සංඛ්‍යාවිශ්වය වූ කලී සමකාලීන අනෙකුත් දර්ශණයන් ගේ තර්කන ක‍්‍රමවේදයනට බලපෑම් කර ඇති බව නම් නිශ්චිතවම නිගමනය කළ හැකිය. ඔවුන්ගේ මහා සංකල්පවලින් එකක් වු සංඛ්‍යා විශ්වය වූ කලී (සංඛ්‍යා විශ්වය මගේ යෙදුමකි). එය අද අප සංඛ්‍යා වශයෙන් දන්නා සංකේත විශේෂය එක්තරා කල්පිත අවකාශයක ඒවාට හිමි නිශ්චිත ස්ථානවල රඳවනු ලැබීමෙන් ගොඩනගනු ලබන්නකි. එම කාල්පනික ව්‍යූහය ගොඩ නඟා ඇත්තේ විශ්වයේ ග‍්‍රහ වස්තු කිසියම් රටාවකට පිහිටා ඇති පරිද්දෙනි. ඒ අනුව අගක් හෝ මුලක් නැති අවකාශයක අනන්තය දක්වා සංඛ්‍යා අගයයන් පිහිටුවනු ලැබේ. අද අප ධන හා සෘන වශයෙන් දන්නා පිළිවෙලට දිගට සහ හරහටත් ඉහළට හා පහලටත් අක්‍ෂ 3 ක් ඔස්සේ මූලිකවද තව තවත් උප අක්‍ෂ ගණනාවක් අනුවද චලනය කළ හැකි පරිදි මෙම සංඛ්‍යා පිහිටුවනු ලැබේ. ඒ අනුව අද අප ගණිතයේදී දන්නා විවිධ අගය මැනීම් මෙම රේඛා ඔස්සේ සැරිසැරීමෙන් ලබා ගත හැකිය ඒ ආකාරයට සංකීරණ ප‍්‍රශ්න නිරාකරණය කොට නිගමනවලට පැමිණීමේ ක‍්‍රමයක් ඔවුහු දැන සිටියාහුය. මේ අනුව අප දන්නා වර්ග මූල අගය මෙන්ම එහි විරුද්ධාර්ථයක් ද, විරුද්ධ ද නොවන සමානද නොවන තවත් අක්‍ෂයක් දිගේ ගමන් කිරීමෙන් තවත් අර්ථ කථනත් ලබා ගැනීමට ඔවුහු දැන සිටියහ. මේ මඟින් රූප-අරූප ලෝකද අප ජිවත් වන සත්ත්ව ලෝකයද අපාය හා දෙව්ලොව ද අමනුෂ්‍ය ලෝකයද ආදී වශයෙන් වූ විවිධ විශ්වයන් හෙවත් යථාර්ථයන් අතර සම්බන්ධතා ගැන සිතන්නටත් සූත‍්‍ර ගොඩනැගීමටත් ඔවුහු උගෙන සිටියාහ. බිංදුවේ අගය මනුෂ්‍ය ඥානයට එකතුවූයේ ශූන්‍යතාවාදය තුලින් බව මේ නිසා දාර්ශණික ඉතිහාසඥයෝ සිතති. එම දාර්ශණික ආගමික නිකායේ ලකුණ වූයේ බිංදුවය. ශූන්‍ය යන්න බිංදුව යැයි ඔවුහු සිතූහ.

මෙම ශූන්‍යතාවාදීහු සංඛ්‍යා විශ්වය අගක් හෝ මුලක් නැති, ආරම්භයක් හෝ අවසානයක් නැති ඉමක් කොනක් ඉවරයක් නැති පැවැත්මක් තිබෙන ව්‍යූහයක් බව අවධාරණය කළහ. භවය නමින් හැඳින්වෙන යථාර්ථයක ආකෘතිය එය යැයි ඔවුහු පැවසූහ. මෙම දර්ශනය භෞතිකවාදී හෝ විඥානවාදී හෝ කියා වර්ගකිරීම තරමක් ගැටලු සහිතය. ඔවුන්ගේ තර්කන ක‍්‍රමය සාමාන්‍ය තර්කන ක‍්‍රම ඉක්මවා ගිය සංකීර්ණ ක‍්‍රමයකි. බිංදුවේ අගයද නැවත නැවතත් ධන හෝ සෘණ ලෙස බෙදමින් අනන්තය දක්වා රැුගෙන යාමෙන් වත්මන් භෞතිකවාදයේ එන ක්වොන්ටම් යාන්ත‍්‍රණය සමඟ පටලැවීමට යමෙකු උත්සාහ කළ හොත් එය බැ?රුම් දාර්ශණික සංවාදයක් වන්නට හොඳටෝම ඉඩ තිබේ. (මේ ගැන විස්තර කිරීම අපගේ කාර්ය නොවන අතර එය පාඨකයාට දෘෂ්ඨි කාන්තාරයක් වන්නට බැරිනැත) කෙසේ වුවද මිනිසාගේ වත්මන් ගණිත ඥානයට නම් එහි බලපෑම ඇති බව ප‍්‍රතික්ෂේප කළ නොහැක. බිංදුවේ අගය වුවද ඊට හොඳටම ප‍්‍රමාණවත්ය. (චෙස් යනුවෙන් ජනප‍්‍රිය වී ඇති කී‍්‍රඩාව අර ශූන්‍යවාදී සංඛ්‍යා විශ්ව ගුරුවරයෙකු විසින් නිපදවු විනෝදාස්වාදය ගෙන දෙන ක‍්‍රීඩාවක් බව මෙහිලා කිවයුතුය.)

කෙසේ වුවද බෞද්ධ දර්ශණයේ එන ‘සංසාර චක‍්‍රය’ නම් වූ සත්වයාගේ පැවැත්මේ යාන්ත‍්‍රණය ඒ ශූන්‍යතාවාදින්ගේ සංඛ්‍යා විශ්වය සමඟ සමාන්තර බවක් පෙන්නුම් කරයි. සංසාර චක‍්‍රය වූ කලී ආරම්භයක් හෝ අවසානයක් නොමැති ඉමක් කොනක් නැති පධාර්ථමය ලෝකය හා අරූප ලෝකයත් සම්බන්ධ කෙරෙන යාන්ත‍්‍රණයක් බව පෙනේ. මිනිසා මෙම චක‍්‍රයෙහි සැරිසරන්නේ ඉපැදීමත් ඉපදීම නිසාම මරණයත් ශූන්‍යත්වයක් කරා ගොස් නොමැති නම් යළි උපතක් ද එතුලින්ම මරණයක් ද ලබමින් නිමක් නැති චලනයක් වශයෙන්ය. සැපත් සැප නැතිවීම ම දුකක් වීමත් සහ සැප හා දුක වශයෙන් ගෙවෙන සත්ත්වයාගේ පැවැත්ම වූ කලී සමස්ථයක් වශයෙන්ම දුකක් වශයෙන් සැලකීම බෞද්ධ ධර්මයේ පිළිවෙලය. සත්ත්වයා මෙම සංසාර චක‍්‍රය තුළ සිය පැවැත්ම නැතිකර ගැනිම පුළුල්ව බැලූ කළ, සැපක් හෝ දුකක් යන දෙකම නැති කර ගැනීම හා සමාන බැවින්, අවසානයේදී එය ස්ථීර සැපතක් බව කියති. මෙහි සැපතක් යන්නෙන් අදහස් කෙරෙන්නේ පැවැත්ම දුකක් නම් පැවැත්ම නැති වීම සැපතක්ය යන අරුතෙනි සංසාරය ම නිවන වේ යැයි යන මහායාන බෞද්ධ ඉගැන්වීම මීට තරමක් වෙනස් වූ දාර්ශනික ප‍්‍රබේධයක් බව කිව යුතුය. මෙම සැපත හෝ විමුක්තිය ලැබිමට නම් චතුරාර්ය සත්‍ය නම් වූ මහා සත්‍යයන් 4 අවබෝධ කර ගැනීමෙන් එළැඹෙන නිර්වාණය නම් වූ අවස්ථාව මිනිසා තම දෘඪ උත්සාහයෙන්ම වීර්යයෙන්ම අත් පත් කර ගත යුතුය. නිර්වාණය හෙවත් විමුක්තිය වූ කලී කෙනෙකු විසින් තවත් කෙනෙකුට ලබාදිය හැකි තත්ත්වයක් නොවේ. එය තමන්ගේම ප‍්‍රඥා මහිමයෙන් වෙහෙස වි අවබෝධ කොට ගත යුතුය. නිර්වාණය අවබෝධයෙන් පසු මිනිසා ගේ පැවැත්ම ලෙස සැලකෙන අර සංසාර චක‍්‍ර කි‍්‍රයාවලියෙන් ඔහු ඉවත් වන්නේය. මෙය සිදුහත් තවුසානන් සත්‍ය (සත්ත්වයාගේ පැවැත්මේ ආකාරය) කුමක්දැයි සොයා ගිය දුෂ්කර අධ්‍යයන-පර්යේෂණ චාරිකාවේ දී අවබෝධ කොට ගත් පරම සත්‍ය යැයි කියැවේ.

මේ අන්දමට බලන කළ බෞද්ධ ධර්මය දේවමූල මැවුම්කාරවාදයට ඉඳුරාම වෙනස් වූ මනුෂ්‍ය මූල ධර්මයක් බව පෙනී යයි. බෞද්ධ ධර්මයේ වැදගත් වන්නේ මනුෂ්‍යයාගේ වීර්යයයි දෙවියකු - බ‍්‍රහ්මයකු - ඊශ්වරයෙකු හෝ අඩුම තරමින් දෙවියන්ගේ නියෝජිතයෙකු ද නොවන ශාස්තෘන් කෙනෙකු වශයෙන් බිහි වූ ප‍්‍රථම මනුෂ්‍යයා සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ ය. ආරම්භයේදී ලෝකය යහපත් ව තිබුණා යැයි හෝ නරකට තිබුනා යැයි කියා හෝ බුද්ධ ධර්මයේ පිළිගැනෙන්නේ නැත. ඒ ලෝකයෙහි ආරම්භයක් හෝ අවසානයක් එහි අඩංගු නොවන නිසාය. එහෙත් මිනිසාගේ පැවැත්ම වූ කලී දුක් - කරදර, කම් කටොලූ හා අර්බුදවලින් පරි පීඩිත වූවකැයි දේව මූලික ආගම්වලින් ගෙන එන පණිවුඩය සමඟ බෞද්ධ ධර්මයේ දුක යනුවෙන් හඳුන්වන දෙය හා සමානත්වයක් නැති නමුදු පොදුවේ සංසාරය තුළ මිනිසාගේ පැවැත්ම වූ කලී දුකක් ය යන්න සමඟ දෘෂ්ඨිමය ඥාතීත්වයක් ඇතැයි භෞතිකවාදීහු කියති.

දෙවි කෙනෙකුගෙන් පිහිටක් යදිනවා වෙනුවට තමා තුළින්ම පිහිට උපයා ගැනීම බෞද්ධ ක‍්‍රමවේදය බව මේ අනුව අපට අවබෝධවේ. මෙය ආගමික වශයෙන් ගත් කළ බෞද්ධාගම සෙසු ආගම්වලින් දර්ශනික වශයෙන්ම වෙන්වන කඩ ඉමකි. මෙය මුළු මහත් විශ්වයම මිනිසා තුලම වෙතැයි වන ශූන්‍යතා ඉගැන්වීමට සාමාන්තර ස්වරූපයක් පෙනෙන තැනකි. එහෙත් ආකෘතික වශයෙන් බලා එබඳු සමාන්තර කමක් ඇති බවක් පෙනී ගියද දාර්ශණික පදනම් වල එබඳු සමානත්වයක් දකින්නට ලැබෙන්නේ නැත. කෙසේ වුවද අපගේ අවධානය යොමු විය යුත්තේ බෞද්ධ දර්ශනයේ කුමක් කිවද අප අතර ඇති බෞද්ධ ආගමේත් එය අදහන ගිහි සමාජයේත් පවතින පිළිගැනීම කෙරෙහිය. මන්ද කියනවා නම් ආගමක් කියා යම් දෙයක් වෙතොත් එය පවතින්නේ එය අදහන, විශ්වාස කරන ගිහි සමාජ පදනම් තුළය. ලොව මැවූ දෙවි කෙනෙකු ගැන පිළිගැනීමක් බෞද්ධාගමේ නොමැති වුවද, බුදුන් වහන්සේගෙන් පිහිට ඉල්ලා සිටීම බෞද්ධ ගිහියාගේද පුරුද්දක් බව පෙනේ. මීට කුමක් හේතු වී තිබේද? බුද්ධ කාලය තුළ එම ධර්මය පිළිගත් සමාජයට වඩා ඊට පසු කාලවලදී විවිධ භූගෝලීය කලාප තුළදී එය පිළිගත් සමාජයන් හි සංවර්ධිත මට්ටම හා දැනුම මට්ටම අනුව ආගම අනුවර්තනය කර ගෙන ඇති බව අපට පිලිගැනීමට සිදුවේ. සංසාර චක‍්‍රවාදයට අනුව එහි කෙළවර වූ නිවන් අවබෝධයෙන් පසු කෙනෙකුගේ පැවැත්මක් නැත එ බැවින් බුදුන්් වැනි පැවැත්මක් නැති කෙනෙකුගෙන් ගෙන් දෙවි කෙනෙකු ගෙන් මෙන් පිහිට පැතීම තේරුමක් නැත. දේව විශ්වාසයට අනුව සිය අනුගාමිකයාට පිහිට ලබාදීමට දෙවියන් මිනිසා දෙස බලා සිටියත් මිනිසා ට පිහිට ලබාදීමට බුදුන් ට එවැනි පැවැත්මක් ඇක්තේ නැත එ වැනි පිහිටක් උන් වහන්සේ දේශනා කළ ධර්මයෙන් අපේක්‍ෂා කළ ද එයත් ලබා ගත යුත්තේ ධර්මය අනුගමනය කිරීම මඟින් තමා විසින්මය. ඉතින් එසේ තිබියදී බුදුන්ගෙන් පිහිට ඉල්ලීම දේව මූල ආගම්වල බලපෑම නිසා කෙරෙන්නක් විය යුතුය. නැත්නම් පුහුදුන් මිනිසාට මැවුම්කාරයකු හා ගැලවුම්කාරයකු නැතිව ජීවත්වීමට බැරි සංකාවක් තිබෙන නිසා විය යුතුය. සිද්ධාර්ථ ගෞතම බුදුන් වටා ගෙති ඇති විචිත‍්‍ර තොරතුරුවලදී ද එවා ඉදිරිපත් කරන්නත් බුදුන් ද දෙවියෙකු මෙන් සිහියේ තබා ගනිමින් ඒවා ඉදිරිපත් කර ඇති බව පෙනේ. එ වැනි කතාවලට අනුව උන් වහන්සේ දෙව් ලෝ අතර අග‍්‍රස්ථානය හිමි කොටගෙන තිබූ තුසිත නම් දෙව් ලොවක සිට මනු ලොවට වැඩම කළ බවත් එසේ කලේ මනුෂ්‍යයාගේ පැවැත්ම යන ඇතිවූ අනුකම්පාව නිසා බවත් කියැවේ. පස් මහ බැලූම් මෙන්ම උපන් ගමන්ම ගැඹුරු දාර්ශණික අදහස් ඇති වදන් ප‍්‍රකාශ කිරීම ආදී බුදුන් ගැන ඇති විසිතුරු කතා ප‍්‍රවෘත්ති හින්දු ආගමේ එන ශී‍්‍ර කි‍්‍රෂ්ණ පුරා වෘතයට සමාන්තරව ගෙතූ කතාවක් බව පෙනේ. මෙයින් පෙනෙන්නේ සාමාන්‍ය දැනුමක් ඇති ගිහි සමාජයට දෙවියෙකු අවශ්‍ය වී ඇති බව නොවේද? අසම්භාව්‍ය සමාජයට දේව විශ්වාසය අතහැර පවතින්නට බැරි බව මෙයින් නිගමනය කළ හැකිය.

මෙ පමණක් ම නොවේ ලෝකයේ ආරම්භයක් මෙන්ම අවසානයක් එනම් කල්ප විනාශයකුත් ඇති බවට විශ්වාසයක් ද නොදියුණු බෞද්ධ ගිහියා තුළ ඇත. කෙසේ වුවද බෞද්ධාගම ද මිනිසාගේ අධ්‍යාත්මයටත් පධාර්ථමය ලෝකයෙන් පිටස්තරව පවත්නා විශ්වයන් ගැන පිළිගැනීමක් ඇතිව තර්ක හා සූත‍්‍ර ගොඩ නඟා ඇති බැවින්, (දෙවියන් ට පින්දීම) බෞද්ධාගම ද පොදුවේ විඥාණවාදී දර්ශණයක් හැටියට භෞතිකවාදීන් විසින් වර්ග කොට ඇත. භෞතිකවාදීන්ගේ මෙම වර්ග කිරීමට පොදුජන බෞද්ධ ගිහියා අතර දක්නට ලැබෙන ඇදහීමේ සංස්කෘතිය සැලකිය යුතු බලපෑමක් කරන්නට ඇතැයි සිතිය හැකිය. ඇදහීම අවිචාරශීලී අන්ධ විශ්වාසයක් යැයි භෞතිකවාදීන් කල්පනා කරන බැවින් එම නිගමනයට ඔවුන් පැමිණීම පුදුම වන්නට දෙයක් නොවේ

භෞතිකවාදීහු ද ලෝකයේ ආරම්භයක් ඇති බව පිළිගනිති. එහෙත් එය දේව මැවීම නොවේ. ඒ සඳහා විවිධ භෞතිකවාදී අනුමාන හා තර්ක ඉදිරිපත් කරති. බිග් බෑං හෙවත් මහා පිපිරුම්වාදය ඉන් එකකි. දේව මූලික මැවුම්කාරවාදී ඉගැන්වීම් වල එන ලෝකය මැවීම ගැනවූ පිළිගැනීමට මෙය යම් සමාන්තර බවක් ඇතැයි කියා තර්ක කලත් එම මත එක සමාන යැයි කීම එතරම් නිවැරදි නොවේ එය යම් ආකෘතිකවාදී ගැලප්පීමක් පමණි. විඥානවාදී ඉගැන්වීම් මෙන්ම භෞතිකවාදී දාර්ශණික උපකල්පන එකිනෙක මුණගැසෙන සතර මං හන්දි ඇතත් ඒවා ගමන් කරන්නේ එකිනෙකට විරුද්ධ දිශාවනට බව මෙහිදී සඳහන් කළ යුතුය. මෙම දාර්ශනික වෙනස්කම් ගැඹුරින් නොසිතන උදවිය වරින් වර විඥානවාදය තුළ විද්‍යාවත් විද්‍යාව තුල විඥානවාදයත් සොයති. මෙය නිශ්පල කි‍්‍රයාවකි. මෙය වවුලාට පියාපත් ඇති බැවින් පක්‍ෂියෙකු යැයි ද දියකාවා දියයට පිහිනන බැවින් මාලූවෙක් යයිද කියා තර්ක කරනවා වැනිය. වවුලා ගුවනෙහි ද දිය කාවා දිය යටදී ද දක්නට ලැබුනත් අප එම සත්ත්වයින් වෙනම විශේෂයන් ලෙස තේරුම් ගත යුතුය.

භෞතිකවාදීහු ලෝක ආරම්භයක් පිළිගනු ලබන්නේ වුවද ඒ සඳහා ද්‍රව්‍යමය වූ සාධක සොයති. ඔවුන්ගේ අනුමානයන් තහවුරු කිරීමට දිනෙත් දින තොරතුරු එක් රැුස් කරති. තම මුල් අදහස් අලූතින් එන තොරතුරු මඟින් අලූත් කරගනිති. මේ නිසා මැවුම්කාරවාදය සමඟ භෞතික මතය සංසන්දනය කිරීම අර්ථවත නොවේ. මිහි මත මිනිසාගේ පැවැත්ම දුක් කම් කටොලූ හා කරදර වලින් පිරි කටුක වූවක් බව ඔවුන් ද පිළි ගනිති. එහෙත් එය ලෝකය ආරම්භයේදී තිබුණාට වඩා ක‍්‍රම ක‍්‍රමයෙන් අඩුකර ගනිමින් පෘථිවිය මත මිනිසාගේ ජීවිතය පදාර්ථයේ කි‍්‍රයාවලිය අවබෝධ කර ගැනිම තුළින් සැපවත් කරගත හැකි බව විශ්වාස කරති. මෙය දේව මූලික ආගම්වල දාර්ශණික දිශානතියට ඉඳුරාම පටහැනිව ගමන් කිරීමකි. වෙන ආකාරයකින් කියන්නේ නම් මිනිසාගේ ඉරණම විසඳා ගත යුත්තේ මිනිසා විසින්මය යන බෞද්ධ චින්තනයේ එන ඉගැන්වීම සමඟ මෙම භෞතිකවාදී අදහස ගමන් කරන බව කිව යුතුය. එ හෙත් ඒ බෞද්ධාගම මඟින් කෙරෙන ඉගැන්වීම ම නොවේ. එනම් මිනිසා අවබෝධ කොටගත යුත්තේ සංසාර චක‍්‍රය හෝ නිර්වානය නොව පදාර්ථය බව භෞතිකවාදියා කියන නිසාය. බෞද්ධ ඉගැන්වීම පෙන්වා දෙන්නේ පධාර්තය ලෙස භෞතිකවාදයේ කියන යථාර්ථය තේරුම් ගෙන කෙලවර කළ නොහැකි බවය එ හෙත් භෞතිකවාදය වූ කලී මිනිසා මූලික කොටගත් දර්ශනයක් වුවත් එය පදාර්ථමය ලෝකය හැර ඉන් පිටත ඇති ලෝකයක් ගැන විශ්වාසය තබන්නේ නොමැත. ඒ අනුව දේව මූලවාදයයෙනුත් සංසාර චක‍්‍රවාදයෙනුත් වෙනස් වූ දාර්ශනික පදනමක් භෞතික වාදීන් සතුවෙයි.

මිනිසාගේ උත්පත්තියේ දී තිබුණාට වඩා සෑම විටම ඊළඟ මොහොත යහපත් වන බව විශ්වාස කරන මෙම ක‍්‍රමවේදයට අනුව අතීතයට වඩා වර්තමානය යහපත් බව කියැවේ. මිනිසා තම අතීතය පාඩමක් ලෙස ගනිමින් සිය අත්දැකීම් හා දැනුම පදනම් කර ගනිමින් සැම විටම පියවරෙන් පියවර අනාගතයට පියමනින්නේ අර නිමක් නැති දුක් කම්කටොලූ උත්පාද කරනා අර්බුද එකින් එක විසඳාගනිමින් බව ඔවුන්ගේ අදහසය. මේ අනුව අනාගතයේදී යම් දිනෙක මිහිමත දෙවියන් ඉදිකරනවා යැයි කියන රාජ්‍ය ගොඩ නැගීම කෙරෙහි භෞතිකවාදින්ගේ බලාපොරොත්තුවක් නොමැත.

මේ අතර සංසාර චක‍්‍රය තුළ ගැවසීමට හෙවත් සැරිසැරීමට සත්ත්වයාට සිදුව ඇත්තේ ක්ලේශ හෙවත් මෙම චක‍්‍රය තුළ හිඳීමට සත්වයා තුළ ඇති කැමැත්ත, ඇල්ම එහෙමත් නැත්නම් තෘෂ්ණාව නමැති බුදු දහමට අනුව නැති කිරීමට ප‍්‍රයත්න දරනා සාධකය ගැන භෞතිකවාදීන් සිතන්නේ ධනාත්මකවය. බුදු දහමේ එන විමුක්තිය හෙවත් නිර්වාණය වෙනුවෙන් නැති කරගත යුතු යැයි කියන තෘෂ්ණාව භෞතික වාදයේ සතුටින් ම පිළිගන්නා දෙයයි. එනම් මිනිසාගේ වීර්යය හැටියට භෞතික වාදීන් සලකන්නේ අර බෞද්ධ දර්ශනයේ නැති කර ගැනීමට වීර්ය කළ යුතු යැයි කියන තෘෂ්ණාව වර්ධනය කර ගැනීමයි. මේ නිසා බෞද්ධ දර්ශනය නවීන විද්‍යාව හා සැසෙ`දතැයි ද බුද්ධාගමේ න්‍යායික පදනම විද්‍යාවට පටහැනි නැතැයි ද යන කියමන් වල දාර්ශණික සත්‍යයක් නැත. වෙනත් වචනවලින් කියනවා නම් බෞද්ධ ධර්මය හා නවීන විද්‍යාව සංසන්දනාත්මක ව විග‍්‍රහ කිරීමට යාම තේරුමක් නැති අභ්‍යාසයකි. තෘෂ්ණාව හෙවත් මෙලොව පැවැත්ම කෙරෙහි සත්ත්වයා දක්වන ආශාව නො තිබුනේ නම් මිනිසා තම ජීවිතය සැපවත් කර ගැනීමට පෙළඹෙන්නේ නැත. එසේ වූයේ නම් විද්‍යාවක් බිහිවන්නේත් නැත විද්‍යාත්මක සොයා ගැනීම් වූ කලී මිනිසා තමන් සිටිනවාට වඩා තම පැවැත්ම තව ටිකක් පහසු කර ගැනීමට කෙරෙන වෑයම්ය.

ස්වභාවික පරිසරයෙන් ලැබෙන දෙයක් ඒ හැටියෙන්ම තම පරිභෝජනයට ගන්නා තිරිසන් සත්ත්වයා මෙන් නොව මිනිසා වගා කොට ආහාර නිපදවා ගන්නටත්, තවත් උපක‍්‍රම යෙදවීම මඟින් ඒ ආහාර රසවත් කර ගන්නටත්, ඇඳුම් හා නිවාස තනාගන්නටත්, එසේ තනා ගන්නා නිවාස හා ඇඳුම් ටිකෙන් ටික සුව පහසු පි‍්‍රයමනාප බවින් වැඩි කරගන්නටත් කී‍්‍රඩා හා කලාවන් උත්පාදනය කර ගනිමින් තම විනෝදය හා තෘප්තිය වැඩි දියුණු කර ගන්නටත් සමස්ථයක් වශයෙන් නිර්මානාත්මකව කටයුතු කිරීමට යොමු වූයේ සසරෙහි ඇලී ගැලී සිටීමට මිනිසා තුළ ඇති කැමැත්ත නිසාමය. නිර්මානකාර්යය දෙවියන්ට පමනක් අයිති බැවින් නිර්මානය යන වචනය පවා මිනිස් ක‍්‍රියාවන් සඳහා යෙදීම තහනම් බව මෙහිලා කිව යුතුය මෙම කි‍්‍රයාවලිය නොනවත්වාම කරගෙන යාමටත්, නොනවත්වාම තව තවත් පුළුල් කිරීමටත් වෙහෙසීම භෞතිකවාදය හා මිනිසාගේ පැවැත්ම අතර සම්බන්ධතාවය නිරූපනය කිරීමකි.

ස්වභාව ධර්මය හෙවත් ප‍්‍රකෘතිය තිබෙන ආකාරයෙන්ම (දෙවියන් මවා ඇති ආකාරයෙන් ම) පාවිච්චියට ගැනීම වෙනුවට එය තමන්ට ඕනෑ හැටියට වෙනස් කළ විට එය අයත් වන්නේ සංස්කෘතියට ය. එනම් මිනිසා නිපදවාගත් සියල්ල (ද්‍රව්‍යමය දේ සහ ද්‍රව්‍යමය නොවන සියල්ල) සංස්කෘතිය නම් මූලධාර්මික වශයෙන් සිතුවහොත් සංස්කෘතිය බිහිවූයේ ද මිනිසා දෙවියන්ගේ නියමයට පිටුපෑම තුළින් බව පිළිගැනීමට අපට සිදුවේ. එමෙන්ම ස්වභාව ධර්මයෙන් ලද දෙයින් තෘප්තිමත් නොවී මිනිසා තමන් දේවල් නිෂ්පාදනය කර ගත්තේ, ඔහු තුළ වූ අර තෘෂ්ණාව නිසා බවද ඒ ආකාරයටම පිළිගැනීමට අපට සිදුවේ. එනම් සංස්කෘතිය යනු තෘෂ්ණාවේත් දෙවියන්ට පිටුපෑමේත් අනිවාර්යය ඵලය බව මේ අනුව අපට පිළිගැනීමට සිදුවේ. එතරම්ම සරල කටෝර ආකාරයකින් නො බලා මෘදු ආකල්පයකින් බැලූවහොත් මිනිසා නිර්මාන කරුවකු වූයේ ආගම් විසින් පෙන්වන දිසානතියට විරුද්ධව විද්‍යාව පෙන්වන දිසාවට ගමන් කිරීමෙන්යැයි කිව හැකිය

ආගමික විශ්වාසයන් මෙන්ම ඇදහිලි ද ඒ හා බැඳුණු අභිචාරයන් ද සංස්කෘතියට ම අයත් නොවේදැයි මෙහිදී ප‍්‍රශ්නයක් මතුවේ. මිනිසා නිපදවාගත් උපදවාගත් සියල්ල සංස්කෘතියවේ නම් ආගම ද එම සංස්කෘතියට ම අයත්වීම අනිවාර්යය. මන්ද? ආගම යනු මානව සංස්කෘතියට අයත් ප‍්‍රපංචයක් බැවින් ය සංස්කෘතිය තෘෂ්ණාවේ ඵලයක් වන අතර දෙව්ලොව සැප කෙරෙහි ආගම් විසින් බලාපොරොත්තු ඇතිකර තිබීම එම ආගම්වල පැවැත්මට සාමාන්‍ය මිනිසා පොළඹවනු ලැබූ ගාමක ශක්තියක් බව කිවයුතුය අවසානයේ තෘෂ්ණාව සංස්කෘතියේද ගාමක ශක්තිය බව පිළිගැනීමට අපට සිදුවේ. මේ අනුව මිනිසා මෙතෙක් අත්පත් කරගෙන සිටිනා විද්‍යාත්මක ජයග‍්‍රහණ සියල්ලත් වෙනත් ක්‍ෂෙත‍්‍රයන්හි අත්පත් කරගෙන ඇති දැනුම පද්ධති සියල්ලත් දෙවියන් වහන්සේට පිටුපෑම නිසා ලබාගත් දේ හැටියටත් තෘෂ්ණාව මුල්කොටගෙන ලබාගත් දේ හැටියටත් භෞතිකවාදීහු තරක කරති. ආගම් හා දේව විශ්වාස ද සංස්කෘතියට ම අයත් බැවින් දෙවියන් ද මිනිසාගේම නිමැවුමක් යයිද කියති. මෙම තර්කය තවදුරටත් තාර්කික අන්තයකට ගෙන ගිය කළ දෙවියන් යනු මිනිසා තුළම වන යථාර්ථයකැයි කියනු ලබන දාර්ශනික තාර්කික ආකෘතියක අප සිටිනා හැටියක් පෙනේ. මෙහිදී ආගම් ද මිනිසා ගේ තෘෂ්ණාවේම ඵලයක් නොවේදැයි සිතේ

කෙසේ වෙතත් අපගේ හෘද සාක්‍ෂියට අප පිටු පාන්නේ නැත්නම් දේවමූල ආගම්වල එන දෙවියන් සැදූ ලෝකය මිනිසා විසින් සංස්කරණය කිරීම නම් වූ පාපයත්, බෞද්ධ ධර්මයේ එන තෘෂ්ණාවත් මිනිසාගෙන් ඉවත් කළ නොහැකි යථාර්ථයක් බව පිළිගත යුතු යැයි භෞතිකවාදීහු දරන මතයට එකඟ වීමට අපට සිදුවනු ඇත. ඉන් කියැවෙන්නේ ‘තෘෂ්ණාව’ හා ‘පාපය’ මානව ශිෂ්ඨාචාරයේ ගතිකත්වයක් බවය. මේ අනුව මිනාසාගෙන් තෘෂ්ණාව ඉවත් කළ විට සංස්කෘතියේ හද ගැස්මද ඒ සමඟම නවතින බව පිලිගත යුතුය. මෙම පිළිවෙලේ හැටියට ප‍්‍රකෘතිය හෙවත් ස්වභාවික ලෝකය දෙවියන්ටත් සංස්කෘතිය මිනිසාටත් හිමිය. සංස්කෘතිය යනු සවභාවික ලෝකය මත තැනූ තවත් ලෝකයක් හෙවත් පද්ධතියක් බැවින් ස්වාභාවික ලෝකයටත් සංස්කෘතියටත් වෙන වෙනම වූ නිති පද්ධති හෙවත් රටා ඇත. නැතහොත් පිලිවෙලවල් ඇත. ස්වභාවික නියාමයන් හා මිනිසා නිපදවාගත් නියාමනයන් වශයෙන් මෙම පද්ධති දෙවර්ගය හැඳින්විය හැකිය. ගරුත්වාකර්ශණය ස්වභාවික නියාමයක් වන අතර උද්ධමනය මිනිසා නිපදවාගත් එකකි. මෙම රටා පද්ධති හෙවත් නීති පද්ධති අතර ගැටුම මිනිසා ස්වභාවධර්මයට එරෙහි කරනු ලැබූ හෝ හිතුවක්කාරකම් විනාශ හැටියට අර්ථ දැක්වේ.මෙම නීති පද්ධති දෙක අතර නිතර හටගන්නා ගැටුම් ආගමික විශ්වාස වලට එරෙහිව මිනිසා අභියෝග කිරීම නිසා හටගන්නා දේවකෝප යැයි සාමාන්‍ය ජනතාව අතර පිලිගැනීමක් ඇත
මිනිසා තමා තනාගත් නීති හා නියාමයන් ද මෙවලම් ද දැනුමද උපයෝගී කරගනිමින් තමාගේ ජිවන පැවැත්ම සුවපහසු කර ගැනීමට වෙහෙසෙන්නේ ඔහුගේ අතෘප්තිය නිසා යැයි කියැවේ. මෙම අතෘප්තිය නිසා හෙතෙම තරඟකාරී ගතිකත්වයක් පෙන්නුම් කරන්නේ යම් සේද පාථිවිය මතවූ ශාක ප‍්‍රජාවද සිය පැවැත්ම වෙනුවෙන් මෙබඳුම වූ ගතිකත්වයක් පෙන්නුම් කරයි.

ශාක ප‍්‍රජාවේ දීර්ඝ ඉතිහාසය නිරීක්‍ෂණය කරන උද්හිද විද්‍යාඥයන් ශාක ප‍්‍රජාව තුළද ආක‍්‍රමණශීලිත්වය සිය ප‍්‍රජාව ව්‍යාප්ත කර ගැනීමේ උත්සාහය, මුල් තත්ත්වයේ සිට ක‍්‍රමික වෙනස් වීම, ආදී ගති ලක්‍ෂණ පෙන්නුම් කරන බව කියති. මෙම සමස්ථ කි‍්‍රයාවලිය පරිනාමය යනුවෙන් හඳුන්වති. මේ අනුව බලන කළ අචේතනික ජීවයක් වන ශාක ප‍්‍රජාව තුළද වෙනස්වීමේ ගතිකත්වයක් පෙන්නුම් කරන බව අපට අත් දකින්නට ලැබේ. ජාන විද්‍යාඥයන්ගේ නිරීක්‍ෂණයන්ට අනුව ශාක බද්ධ කළවිට එම ශාක තම තමන්ගේ රසායන ද්‍රව්‍ය හුවමාරු කර ගන්නා බවත් එමඟින් අලූත් ප‍්‍රතිඵල ඇති කරන බවත් අත් දැක ඇත. මෙමගින් ප‍්‍රකෘතිය හෙවත් පදාර්ථමය ලෝකය ඒ හැටියටම පවතින්නේ නැතිබවත් එය වෙනස්වන සුළු ගතිකත්වයකින් යුක්ත බවත් අදහස් කරේ. මෙම අදහස තාර්කිත අන්තයකට ගෙන ගිය හොත් දෙවියන් මැවූ ලෝකය වෙනසකට ලක් වීම දේව සැලැස්මට එරෙහි විමක් වනවාට වඩා ස්වභාවික යථාර්තයක් බව පිලිගැනීමට සිදුවේ. ඉතින් උන්වහන්සේගේ කැමැත්තට පිටින් යාම එනම් එසේ කිරීම හෝ සිදුවීම ශාපයක් වන්නේ නම් මෙම අවේතනික ශාක ප‍්‍රජාව තුළ එම ගතිකය ස්වභාවිකව පිහිටා තිබීමට කුමක් නම් කියමුද? ශාපය හා ඒ අතර ඇති සම්බන්ධතාවය කෙසේ නම් විස්තර කරමුද? උන්වහන්සේ මැවු යහපත්වූ ලෝකය තුළම වෙනස් වීමේ ගතිකත්වයද අඩංගු වූ බව පිළිගන්නට අපට සිදු නො වන්නේද? තෘෂ්ණාව ගැනද කියන්නට ඇත්තේ මෙම ටිකම නොවේද? සත්ත්වයා තුළ පවත්නා ගතිකත්වය පමණක් ආගමික දූෂ්ඨින්ගේ අවධානයට ලක්වුවද ශාක ප‍්‍රජාවේ හැසිරීම් මගහැරුනේ මන්ද යන ගැටලූව මෙහිදී පැන නැගේ. එහෙත් ඊට භෞතික වාදීන්ගේ පිළිතුර වන්නේ ආගමික ග‍්‍රන්ථ සම්පාදනය වෙද්දී ශාක ප‍්‍රජාවන්ගේ හැසිරීම් ගැන තියුණු අවබෝධයක් මිනිසාට නොතිබූ බවය. එනම් මිනිසා එතරම් පෙහොසත් සංස්කෘතියකට එකල උරුම කම් නොකී බවයි. එය නැවත ආගමික මත හා ආකල්ප මිනිසා විසින්ම නිර්මානය කළ ඒවාය යන මතය තහවුරු කරන්නකි. සමස්ථ ස්වභාවික ලෝකය තුළම පවත්නා වෙනස් වීමට දක්වන කැමැත්ත ආගමික ආකල්ප හා මත ඒවායේ ඇතුලතින්ම අර්බුදයකට ලක් කිරීමකි.

මිනිස් සත්ත්වයා තුළ වූ තෘෂ්ණාව නම් වූ ගති ස්වභාවය අර සංසාර චක‍්‍රය තව තවත් නොනවත්වා ක‍්‍රියාත්මක වීමට හේතු වන අතර එය වලක්වාලීම ස්වාභාව ධර්මයට එකඟ නොවීමක් ලෙස ද මේ අනුව පෙනීයයි. එමෙන්ම පාපයෙන් මිදී සිටීම හෙවත් ස්වභාවික ලෝකය තමන්ට අවශ්‍ය පරිදි මිනිසා විසින් වෙනස් නො කිරීම යන්නද යථාර්තවාදී නොවන බව පෙනේ. (මෙහිදී පාපය යනුවෙන් අදහස් කෙරෙණුයේ දිනපතා කෙරෙන අපරාධ නොවේ.)

ආගමික දෘෂ්ඨියක් යයි කීමට නොහැකිවුවද ආගමික ආකල්ප සමග සැසදෙන දෘෂ්ඨිවාදයක් ද ලෝක දෘෂ්ඨීන් අතර පවතී. මිනිසා තුළ නොසංසිදෙන ආශාව ඔහුගේ ම පැවැත්මට තර්ජනයක් වන බව මේ අය කියති. මිනිසා විසින් නිපදවාගන්නා නීති ස්වාභාවික ලෝකයේ නීති හා ගැටීමෙන් බැ?රුම් අර්බුද පටන්ගන්නා බව කියා සිටින ඔවුහු ස්වභාවික ලේකය වෙනස් කිරීමට මිනිසා දක්වන කැමැත්ත පාලනය කළ යුතු බව කියා සිටිති. පරිසරවේදීන් අයත්වන්නේ මෙම වර්ගයටයි. මේ අතර සාමාජ සාධාරණත්වය, දුප්පත්කම සහ සාගින්න නැතිිකිරීම, යුද ගටුම් මිහි මතින් තුරන් කිරීම ආදී පොදු පීඩාවන් තුරන් කිරීම වෙනුවෙන් පෙනී සිටින පිරිස් ද අයත් වන්නේ මේ කණ්ඩායමට මය. මනිසාගේ ‘අසීමිත පරිභෝජන’ වුවමනාව පාලනය කිරීමෙන් මෙම ගැටලූ සාමනය කළ හැකියයි ඔවහු දෙ ගොල්ලම සිතති.

මිනිසා තම කෙලවරක්, ඉමක්, කොනක් නැති අශාවන් පිනවීම සඳහා, ඉවක් බවක් නැතිව සම්පත් පරිභෝජනය කිරීමෙන් මිනිස් සමාජයේ තුල්‍යතාවය බිඳවැටී ඇති බවත් පරිසරයද විනාශයට ලක්වී ඇති බවත් ඔවුහු කියාපාති. මෙම තත්ත්වය තවදුරටත් පෘථ_වි ගෝලයට දරාගැනීමට නොහැකි බව ඔවුහු අවධාරණය කරති. මෙය වනාහි දෙවියන් මැවූ ලෝකය යක්‍ෂයා ගේ ඇනවුම මත වෙනස්කරන්නට යාමෙන් මිනිසාට විදින්නට ලැබී තිබෙන විපාකයක් නොවේදැයි දේව මූල මැවුම්කාර වාදය විසින් මෙහිදී භෞතිකවාදීන්ගෙන් අසනු ඇත. එ මෙන්ම තෙරක් නැති තෘෂ්ණාවේ ගිලීමෙන් අත්කරගන්නා කර්ම ඵලයක් නොවේද යනුවෙන් සංසාර චක‍්‍රවාදීන් විසින්ද අසනු ඇත. මන්ද පරිසරවේදීන්ගේ පරිභෝජන විරෝධී මතය තෘෂ්ණාව සමගත් ස්වභාව ධර්ම වාදය සමගත් පෙළ ගැසෙන බැවිනි.

නමුත් මෙහිදී භෞතික වාදීහු අපට මතක් කරදෙන කරුණක් වෙයි. එය නම් මේ වර්තමානයේ මෙන් ‘හිතුවක්කාර මිනිස් ක‍්‍රියාකාරීත්වයක්’ නොතිබුණු අතීත ලෝකය යනු එකම ලේ වැකි යුධ පිටියක් බවට පත්ව තිබූ බවයි. කිසිවෙකුත් සවන් නොදුන් අදෝනා මැද ශිෂ්ඨාචාර එහෙම පිටින්ම මිහි මතින් අතුරුදහන් වූ බවත් දරිද්‍රතාවය නිසාම ළමා ළපටින් සමඟ තොග ගණන් මිනිසුන් මිය පරලොව ගිය බවත් ස්වභාවික විපත් වලට කිසිදු පිළිතුරක් රක්‍ෂණයක් වත් නොතිබුණු බවත් කියන ඔවුහු එම දුක් නැති කරීමට ආගම් වලට තිබුනේ යාඥා කිරීම පමණක් බවත් කියා සිටිති. මෙය එක් අතකට බැ?රුම් චෝදනාවක් වන අතරම ඒ පිළිබඳ සංවාදය බොහෝ දුරට ගෙනයාමට කෙනෙකුට පිලිවන. මීට සියවස් 7-8 කට පෙර මිනිසාගේ පරම ආයුෂ අද තිබෙනවාට වඩා බෙහෙවින්ම අඩු අගයක පැවැතුණු බවත් ගල් යුගයේ මිනිසාගේ තත්ත්වය ඊටත් වඩා අභාග්‍ය සම්පන්න බවත්, පරිසයට එතරම් ‘විනයක්’ නො කළ ඒ යුගයේ ලෝකය මිනිසාට එතරම්ම අකාරුණික වුයේ මන්දැයි ඔවුහු තවදුරටත් ප‍්‍රශ්න කරති. ඔවුන් කියා සිටින්නේ, පුරා විද්‍යා ගවේෂණ මගින් හෙළිකරගෙන ඇති ප‍්‍රත්‍යක්‍ෂ මූලික සත්‍යයන් ගෙන් තහවුරුවන්නේ ලෝකයේ ආරම්භක මුල් යුගය මිනිසාට යහපත් ව නොපැවැතුණු බවය. ලෝකය පහපත්ව තිබුනේ නම් මිහි මතින් එමෙහ පිටින්ම ශිෂ්ඨාචාර අතුරුදහන්වන්නේ කෙසේද යන ප‍්‍රශ්නය ඔවුහු ආගමික දෘෂ්ඨිවාදීන්ගෙන් අසති.

පරිසරවේදීන් හා සමාජ සාධාරණත්වය ගොඩනැගීමට වෙහෙස වන්නන්ගේ ප‍්‍රයත්නය කෙරෙහි භෞතිකවාදී ආකල්පය වන්නේ ඊට සතුරු එකක්ම නොවේ. මිනිසා ජීවත්වීමට දරණ උත්සාහයේ දී ස්වාභාවික ලෝකයේ නීති රීති ඔහු අතින් උල්ලංඝනය වීම බලාපොරොත්තු විය යුත්තක් බවත්, ඔහු සිය දැනුම පුළුල් කරගන්නේ එබඳු අත්දැකීම් වලින්ම බවත්, ඒවාට විසඳුම් සොයාගන්නේත් ඒ අර්බුද තුළින්ම බවත් භෞතිකවාදියාගේ විශ්වාසය වෙයි. අනාගත ලෝකය අර කියන සමාජ සාධාරණත්වයක් මත පරිසරය සමඟ සම්මුතිකාමීවීම සැලසුම් කිරිමටත් මිනිසාට මෙම දැන් ලබන නරක අත්දැකීම අවශ්‍යම කාරණයක් බවත් ඔවුහු තව දුරටත් අවධාරණය කරති. ඔවුහු දැඩිව කියා සිටින්නේ වැදගත්ම කාරණය වන්නේ අවසාන අරමුණ බවය. අවසාන අරමුණ ලස කියන අදහස නැවත භෞතිකවාදී මතයත් ආගමික මතවාදය නැවත මුණ ගැසෙන දාර්ශණික මං සන්ධියකි. භෞතිකවාදීන් ලෞකික ලෝකයේ පැවැත්ම මතද ආගමික දෘෂ්ඨිවාදය අලෞකික ලෝකය පිළිබඳ විශ්වාසය මතද තම තමන්ගේ දාර්ශණික පදනම් ගොඩ නඟා ගනී. අවසාන අරමුණ යන දෙයද ඒ අනුව තීරණය වෙයි මාගේ පෞද්ගලික අදහස නම් මිනිසාගේ ජීවන තෘප්තිය සඳහා මෙම දාර්ශණික පදනම් දෙකෙන් ම උපදින සැනසුම අවශ්‍යය බවයි. මේ නිසාම භෞතික වාදයත් විඥානවාදයත් එකිනෙක ගැටෙමින් මිනිසා විශ්වයෙහි පවතින තාක් කල් ම පවතින්නේයැයි සිතිය හැකිය භෞතික වාදීන් මේවන විට උපයාගෙන ඇති සිය දැනුම් සම්භාරය මත ඔවුන් ගොඩනගන තර්කයක් වන්නේ අප ජිවත් වන ග‍්‍රහලෝකය හෝ මන්දාකිණිය සදාකාලික එකක් නොවන හෙයින් මිනිසා කිසිවක් කලත් නොකලත් ආගමික ඇඳහිලි හා විශ්වාසයන්ද බලාපොරොත්තු ද සමග මේ මන්දාකිනිය වැනසෙන බවය. අනාගතයේ යම් දිනක දී භාවනා කරන්න ටහෝ යාඥා කරන්නට වත් තැනක් ඉතිරිවන්නේ නැති බවය. ඒ අනුව මිනිසාගේ සුරක්‍ෂිතභාවයට අධ්‍යාත්මික විශ්වාසය හෝ අභ්‍යාසය මගින් පිහිටක් නො ලැබෙන බව ඔවුහු අවධාරණය කරති.

පෘථිවි ගෝලයේ උණුසුම ඉහළ යාම හේතුවෙන් උද්ගතවී ඇති ගැටලූවලට මෙන්ම ඕසෝන් බාධක වායූන් භාවිතයෙන් ඕසෝන් වියන පලූදු වී තිබීම නිසා උද්ගතවී ඇති පාරිසරික ගැටලූවලටද අද වන විට විසඳුම් මිනිසාගේ ප‍්‍රඥාව හා බුද්ධිය මෙහෙයවීමෙන් සොයනවා විනා ඊට අධ්‍යාත්මික හෝ දේව මූල විශ්වාස වලින් විසඳුම් නැති බව ඔවුහු අවධාරණය කරති.

භෞතිකවාදීන් විශ්වාසය තබා ඇත්තේ තමා විසින්ම අත්දැකීම් ලබා තීරණ ගත හැකි විද්‍යාත්මක ක‍්‍රමය නමින් ඔවුන් පිළිගන්නා පරීක්‍ෂණය නීරීක්‍ෂණය හා නිගමනය යන පිළිවෙල කෙරෙහිය. මේ අනුව ප‍්‍රත්‍යක්‍ෂ මූලික සත්‍යය හෙවත් අනුභුතිය පදනම් කරගනිමින් ඔවුහු සිය තර්ක ගොඩ නගමින් නිගමනවලට එළඹෙති. මේ නිසා තමන් දරන දෘෂ්ඨිය යථාර්තවාදී එකක්යැයි භෞතික වාදීහු කියති. එමෙන්ම ඊට ප‍්‍රතිවිරුද්ධ මත, එනම් දේවමූල මැවුව්කාර වාදය හෝ සංසාරචක‍්‍රවාදය විඥානවාදී යැයිද යථාර්තවාදී නොවේ යැයිද භෞතිකවාදීහු කියති. එහෙත් මීට එරහිවන දේවමූල මැවුම්කාරවාදීන් මෙන්ම සංසාරචක‍්‍රවාදීන් කියා සිටින්නේ තමන්ගේ දෘෂ්ඨීන්ද යථාර්තවාදී බවයි. විඥානවාදය හා භෞතික වාදය වශයෙන් වර්ග කෙරෙන දුෂ්ඨීන් දෙක අතර මැද ගැවසෙන දුෂ්ඨිය ද කියා සිටින්නේ වඩාත් යථාර්තවාදී තමන්ගේ දුෂ්ඨිය බවය.

හැමදෙනාම තමන් දරන මතය යථාර්ථවාදී මතයක් ලෙස කියාපාද්දී යථාර්තය යනු කුමක්ද කියා පටලැවිල්ලක් ඇතිවේ. අප මේ ගැන සොයා බැලිය යුතු වන්නේ මැදහත් සිතිනි. කෙසේ වෙතත් ආරම්භයේදීම යථාර්තය යනු සාපේක්‍ෂ සංකල්පයක් බව නම් සිතනන්ට තරම් හේතු අපට ඇත. (යථාර්තය යනු සාපේක්‍ෂ සංකල්පයක් ලෙස කිම භෞතික වාදීන්ගේ මෙන්ම විඥානවාදීන්ගේත් විරෝධයට හේතුවන්නට පිළිවන) විඥානවාදය ඔවුන් දරණ මතවාදයට සාපේක්‍ෂවත් භෞතිකවාදීන්ගේ මතවාදය ඔවුනට සාපේක්‍ෂවත් යථාර්තවාදී යැයි යන අදහස මෙයන් ගම්‍ය කෙරේ.

පදාර්ථය හෙවත් පංචේන්ද්‍ර ගෝචර ලෝකය, එනම් ද්‍රව්‍යමය වූ විශ්වයම යථාර්තයකි. යථාර්තය නම් වචනය සොයාගත් මිනිසා මෙලොව පහලවන්නටත් පෙර මෙම පදාර්ථයමය ලෝකය කිසිදු නමක් නොදරමින් පැවතුන බව අප පිළිගත යුතුය. ඇමෙරිගෝ වෙස් පුසි විසින් ඇමෙරිකාව සොයගන්නට පෙර එම භුමිය කිසිදු නමක් නොදරමින් පිහිටා තිබුණා මෙන්ය. මෙහිදී මෙම පදාර්තමය ලෝකය (විශ්වය) යථාර්තය යැයි කීමෙන් අදහස් කරන්නේ ප‍්‍රකෘතිය යථාර්තයක්ය යන්නයි. මෙම පදාර්ථමය ලෝකය (විශ්වය) මූලික යථාර්තය හෙවත් ප‍්‍රථම යථාර්ථය යැයි කියමු. එම යථාර්තයේ පැවත්මට මිනිසා වන අපගේ අදාලත්වයක් ඇත්තේ නැත. ඒ ජීවින්ගෙන් තොරව වෙනත් ග‍්‍රහ ලෝක දැනට පවතිනවා මෙන්ය.

මිනිසා වන අප යම් යම් දේවල් හා ක‍්‍රියාවලීන්ද සිදුවීම් හා සිද්ධාන්තද ආදී වශයෙන් වූ තවත් බොහෝ දේවල් හඳුනාගන්නට වචන නම් වූ සංකේත විශේෂයක් නිපදවාගෙන ඇත්තෙමු. මෙම වචන පිළිවෙලකට යොදා භාෂාව නමින් මෙවලමක් නිපදවාගෙන ඇත්තෙමු. මෙම භාෂාව වූ කළී මූලික යථාර්තය යැයි අප මුලින් පැවසූ පෘථ_විගෝලය මත පවත්නා තවත් ගෝලයකි. නැත හොත් වියනකි. මෙය මූලික යථාර්තයක් නොවුවද යථාර්තය යැයි අප මුලින් කී දෙය මත පවත්නා පථාර්ථමය නොවන යථාර්තයකි. නැතහොත් තවත් යථාර්තයකි. එහෙත් භාෂාව වූ කළි හුදු යථාර්තයක් ම නොවේ. එයට යථාර්තයක් යැයි කියන්නේ මිනිස් සංජානනය සමග සම්බන්ධයක් හෝ පැවැත්මක් ඊට ඇති නිසාය ඒ අනුව භාෂාව දැන සිටීම යථාර්තය දැනසිටීමක් වන්නේ නැත. මූලික යථාර්තය දැනගැනීමටත් දැනගත් යථාර්තය දැක්වීමටත් භාෂාව මහෝපකාරීය. එහෙත් අප දන්නා පොදු දේවල් පවා නිවැරදිව විස්තර කිරීමට ඇතැම් විට මෙම භාෂා වියනට ද පුළුවන් කමක් ඇත්තේ නැත. තවමත් මිනිසා විසින් මෙම භාෂා වියනට ඇතුලත් නොකල බොහෝ දේවල්ද ක‍්‍රියාවලින්ද යම් යම් පිළිවෙලවල්ද පදාර්ථමය ලෝකයේ තිබීම ඊට හේතු වශයෙන් දැක්විය හැකිය. එහෙත් ඒවාද යථාර්තයමය. නොදත් යථාර්තයය. භාෂාව නිපදවීම මිනිස් ක‍්‍රියාවකි. මිනිසා නිපදවූ දේ යථාර්තයට අයත් නම් භාෂාවද යථාර්තයේම කොටසක් විය යුතුය. ඒ අර්ථයෙන් භාෂාව වූ කලී යථාර්ථයකි. එය භාවිතා කරන මිනිසා මෙම ග‍්‍රහලෝකයෙන් අතුරුදහන් වූවහොත් භාෂා යථාර්ථයද ඒ සමග යථාර්තයෙන් අතුරු දහන්වෙයි. ඉන්පසු එය තව දුරටත් යථාර්තය නොවේ මන්ද? ඉන්පසු ඊට පැවැත්මක් නොමැති නිසාය මේ අනුව භාෂාව පදාර්ථමය නොවූ යථාර්තයක් බව පෙනීයයි. මෙයින් පෙනීයන්නේ අර භොතික වාදීන් කියන පදාර්ථමය යථාර්තයට අදාල නොවන තවත් යථාර්යන් තිබෙන බවයි. මේ අනුව සංගීතය, දැනුම, න්‍යාය, සෞන්දර්යය සිතුවිලි, ආකල්ප, විඳීම ආදී සියල්ලත් මිනිසා මිහිමත ජීවත් වෙන තාක් කල් පවතින යථාර්තය ම වේ. එ හෙත් මෙය අර ප‍්‍රකෘතිය නමින් හªන්වන යථාර්තය නම් නොවේ. මෙය සංස්කෘතිය නම් පදයේ පුලූල් ම අර්ථයයි. එහෙත් මිනිසා නිපදවා උපදවාගත් සියල්ල සංස්කෘතිය නම්, සංස්කෘතිය ද යථාර්තයට අයත්නම් මේ සියල්ලම විවිධ අර්ථ නිරූපනයන් ට අනුව ඒවා යථාර්ථයෙහි විවිධ රූප බව පිළිගැනීමට අපට සිදුවේ. උපන්‍යාසයක සිට පරීක්‍ෂණයටත් නිරීක්‍ෂණයකට හා නිගමනයකටත් පැමිණීමේදී පංච ඉන්ද්‍ර ගෝචර නොවන යථාර්තයක සිට පංචේන්ද්‍රගෝචර පධාර්තමය යථාර්තයට බලපෑම් ඇති කරනා ආකාරය හෝ පැමිනෙන ආකාරය දත හැකිය. මෙය ද්‍රව්‍යය ද විඥාණයද මූලිකවන්නේ යන භෞතිකවාදී මතයේ රළු හා සීමාසහිත බව පෙනෙන තැනකි.

විඥානවාදී චින්තන ධාරාවේ විද්‍යාර්ථීන් කියා සිටින්නේ ඔවුන් දකින යථාර්තය, පත‍්‍ර්‍යක්‍ෂ මූලික යථාර්තය ලෙස අප දන්නා දේවල් හඳුනාගන්නාට යොදාගන්නා භාෂාවෙන් විස්තර කළ නොහැකි බවය. මන්ද කියනවානම් එම සංකල්ප හා නිගමන ඔවුන් විසින් පිහිටවුා ඇත්තේ අර පදාර්ථමය යථාර්ථයෙන් පිට පවත්නා පදාර්ථමය නොවන යථාර්ථයක් මත නිසාය. මේ නිසා විඥානවාදී යථාර්තයන් විස්තර කිරීමේදී නිෂේඨාර්ථාත්මක භාෂාවක් ඔවුහු යොගාගනිති. සියැසින් දැක විශ්වාස කරන අයෙකුට එබඳු යථාර්තයක් තේරුම් කළ හැක්කේ ඔහු දැක ඇති යථාර්තයේ දෙවල් වල නිශේධාර්ථයෙන් බව විඥානවාදීහූ කියති. විශේෂයෙන්ම සංසාර චක‍්‍ර වාදීහු නිර්වාණය හෝ ශුන්‍යත්වය විස්තර කිරීමේදී මෙබඳු භාෂා උපක‍්‍රමයක් යොදා ගනිති.

එමගින් සිදු කරනුයේ යථාර්තය හැටියට අප මෙතෙක් දැන සිටි දෙයෙහි නිශේධාර්ථය, (නැත යන අර්ථය) යොදා ගැනීමයි. මෙය නිෂේඨ යථාර්තය යයි හැදින්වීම වරදක් නැතැයි සිතේ. එය තවදුරටත් විස්තර කරන්නේ නම් යථාර්තයක් බවට පත් නොවී සිටිමේ යථාර්තයයයි. ඇතැම් විට මෙය සෘණ යථාර්ථය යැයිද කියති. (ශුන්‍යතාවාදීන්ට අනුව) එහෙත් සෘණ යථාර්ථය යනු යථාර්තයෙන්ම පිළිඹිඹුවක් නොවේදැයි ගැටලූවක් මතුවේ.

මේ අනුව බලන කල පදාර්ථමය යථාර්තය මත තව තවත් යථාර්තයන් ගණනාවක්ම ඇති බව පිළිගන්නට අපට සිදුවේ. මිනිසෙකුගේ උපත යථාර්තයකි. ඔහු තවකෙකු විසින් ඝාතනයකළ හොත් ඒ ඝාතනය කිරීම මිනිස් ක‍්‍රියාවක් බැවින් එයද යථාර්ථයකි. ඝාතකයාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වීමත් එම නීතියත් නිතිය ක‍්‍රියාත්මක කරන ආයතනත් විවිධ හැඩ තල ගත් යථාර්තයන්ම වෙති. මේ අනුව අපට පැමිණිය හැකි පොදු නිගමනය වන්නේ දේවල් මෙන්ම දේවල් නොවන දේවල් ද යථාර්ථයම වන බවය. ඒ අනුව යථාර්තය යනු සාපේක්ෂ සංකල්පයක් බව පිළිගැනීමට අපට සිදුවේ.

වචන හා භාෂාව යනු මිනිසා නිපදවා ගත් සංකේත විශේෂයක් නම් ඒවා පදාර්ථමය යථාර්තය මත පිහිටා ඇති ආරෝපිත යථාර්ථයක් නම්, වචන හෝ වචන වලින් තනා ගන්නා නීති-රීති හෝ නිගමන ස්ථි_තික දේවල් යයි සිතා නොවෙනස්ව ඒවා මත එල්බ ගෙන සිටීම යථාර්තයට පටහැනි වූවකි.එවිට ඒවාට අත් වන්නේ යථාර්තවාදී නොවන දෙයට අත්වන ඉරනම ම ය එනම් අසාර්ථක භාවය ය යථාර්තමය ලෝකයේ අප නොදන්නා පිළිවෙලවල් තවත් කොතෙකුත් ඇත්නම් එමෙන්ම අලූත් අලූත් පිළිවෙලවල් අලූතින් ම උපදින්නේ නම් වචනවල හෝ සංකල්ප මත අප නෙසෙල් වී එලිලී සිටීම ‘ගවේෂණය’ නිම කළ ලෝකයක් මත සිටගත්තා වැනිය. මේ අන්දමට තමන් තනාගත් නීති රීති නියති හා සම්මුතිවලම එල්බ ගෙන සිටින උදවිය ඇතැම් විට අපට දකින්නට ලැබෙයි. එසේ සිටීම මිනිසාගේ පැවැත්මට හානි ගෙන දෙයි. ඉදිරිගමන අඩාල කෙරෙයි. තවදුරටත් යථාර්තය තේරුම් ගැනීමට බාධා ඇති කරයි. ඉදිරියට යන මිනිසා අලූත් පරාමීතින් හා අලූත් නිර්නායකයන් යොදාගනිමින් එතෙක් තමන් නිපදවාගත් නීති රීතින් ද සංගල්ප හා සම්මුතීන්ද අලූත් කරගනිමින් ඒවාට ජීවය දෙයි. අසවල් නීති ග‍්‍රන්ථයේ අසවල් ප‍්‍රඥාප්තියේ මෙසේ තිබුණු නිසා අසවල් පඩිවරයා මෙසේ කියා තිබුන නිසා මෙය මෙසේම කළ යුතු යැයි කියන උදවිය මිනිසා මුහුණ දෙන ගැටලූ නිරාකරණය කිරීමට බොහෝවිට බාධාවක් බවට පත් වෙයි. මේ අය යථාර්තයේ මූලික ධර්මතාවයට පටහැනිව ක‍්‍රියාකරන අධානග‍්‍රාගී මත දරන්නන් වෙයි. මෙවැනි උදවිය ගැන සෙන් බුදු දහමේ කියවෙන්නේ (සෙන් කතා) කිසියම් න්‍යායක් හෝ නීතියක් කෙරෙහි අන්ධානුකරණයෙන් දැඩිව එල්බ ගැනීම ත් තව තවත් අය ඒ කෙරෙහිම විශ්වාසය තැබීමත් වනාහී කිසියම් අනධ අයකෙුගේ අත තවත් අන්ධ අයෙකු අල්වාගෙන සිටිනාතර තව තවත් අන්ධයන් ඒ අන්දමට අත් අල්ලාගෙන සිිටින අන්ධයන් පේළියක් මෙන් යැයි කියාය.

මෙ වැනි අන්ධයෝ සමූහ පේළි, වචන යනු යථාර්තයම යැයි සිතති. නීති යනු නොවෙනස්වන නියම යැයි සිතති. ඒවා කදු හෙල් ගල් පර්වත වැනි නොතකා කටයුතු කළ නොහැකි දේවල් යැයි සිතති. නීති හා අධිකරන නිගමනවලට යටත්ව ම ජීවත් විය යුතු යැයි සිතති. භාෂාව හෝ නීති-තර්ක යථාර්තය දැන ගැනීමට භාවිතා කරනා මෙවලමක් බව නොසිතති. නොදනිති. මෙවැනි උගත්තු කුමන රටේත් කුමන සමාජයේත් කුමන වකවානුවේත් සිටිති. මෙය පෙර අප කතා බහ කළ විඥානවාදී චින්තන ධාරාවෙන්ම උපදින උප සංස්කෘතියක් හැටියට හැදින්විය හැකිය. බෞද්ධ ධර්මයේ ඉගැන්වෙන පිලිවෙලට මෙවන් උදවියට කළ හැක්කේ දෘෂ්ඨි කාන්තාර නිපදවීම පමණකි. සාමාජ දේශපාලන ගැටුම් නිරාකරනයට එවන් අධානග‍්‍රාහී මත දරන්නන් බාධාවකි. රටක දියුණුවට පමණක් නොව ආගමක දියුණුවට ද බාධාවකි. විචාරශීලිත්වයට විවෘත හා අධානග‍්‍රාහීත්වයට විරුද්ධ බෞද්ධ දර්ශනයේ දෘෂ්ඨි කාන්තාර වලට ඉඩක් ඇත්තේ නැත. (එහෙත් අපට වටහා ගැනීමට අසීරු කරුණක් නම් සමාජ දේශපාලන ගැටුම් කළමණාකරන විෂයේදී ශ‍්‍රී ලංකාවේ බොහෝ බෞද්ධ හිමිවරුන් අර අන්ධයන්ගේ පේළිය සේ ක‍්‍රියාකිරීම යි. මෙබදුම පිරිස්් භෞතිකවාදී චින්තන ධාරාවෙන් එන ගුරුකුලයක් වන මාක්ස්වාදී ව්‍යාපාරයේද සිටිති*.

මිනිසා නිපදවා ගත් උපදවාගත් සියලූ ද්‍රව්‍ය හා අද්‍රව්‍ය දේවල් සංස්කෘතිය නම් එය ආරම්භවන්නේ සර්පයා (යක්ෂයා) විසින් ඒවාට තහනම් ගහෙන් ඉදුනු ඵලයක් නෙලා පිළිගැන්වූ වේලේ සිටයැයි කාව්‍යමය අර්ථයකින් කිව හැකිය. (පාවෙල් ලැන්ඩා) එනම් මිනිසා නිපදවීම ආරම්භ කළ මෙහොතේ සිටය. මෙහිදී නිපදවීම යන්නෙන් අදහස් කරනුයේ අතිරික්තය නිපදවීම නොව ප‍්‍රකෘතියේ දේවල් තමන්ට රුචි පරිදි වෙනස් කොට හදා ගැනීම මෙන්ම ප‍්‍රකෘතියේ නොතිබූ දෙයක් නිර්මාණය කරගැනීම යන්නයි. (නිර්මානය දෙවියන්ට පමණක් අයිති කාර්යයක් බව දේව මතයයි) ආදම් සහ ඒව තහනම් ගසේ ඵල භුක්ති විඳීමෙන් පසු කුමන දෙයක් නිපදවා ගත්තේද යන්න විමසීම මෙහිදී වැදගත්ය. ඔවුන් ප‍්‍රථමයෙන් ආහාරයක් හෝ ඇඳුමක් නිපදවා ගන්නේ නැත. සර්පයා නෙළාදුන් පළතුරු අනුභව කිරීමෙන් පසු ඔවුනට ඇඳුම් අවශ්‍ය බව පෙනී ගියේ ලජ්ජාව හෙවත් ශීලාචාර කමේ ‘අ’ යන්න අවබෝධ කරගැනීමෙන් පසුවය. එනම් පසු කලෙක චර්යා ධර්ම නමින් අනු දක්නා දෙය නිපදවීමේ මූලික අවස්ථාව එය වූ බවය.

සමස්ථ මානව වර්ගයාගේම තත්ත්වය මීට වෙනස් නොමැත. මිනිසා තිරිසන් සතුන් මෙන් නැවුම් ප‍්‍රකෘතියෙන් ලබන දේ ඒ හැටියෙන්ම භුක්ති විදන්නෙකු වුවද තමාගේත් තම පරම්පරාවේ හෝ රංචුවේ ත් රැුකවරණය-කුසගින්නට ඇති බිය නිසා ආහාර උපදවා ගැනීමට අවශ්‍ය සාමුහිකත්වය ආදී කාරණා මුල් කොට ගනිමින් යම් යම් සිරිත්-විරිත් හා චර්යාධර්ම පිළිවෙලවල් ඔවුනට මුලින්ම අවශ්‍යවූ බව කිව යුතුය. එනම් සමස්ථ අර්ථය වශයෙන් ගත්කළ ප‍්‍රකෘති ලෝකය කෙරෙහි වූ බිය සංස්කෘතියේ උපත බව පැහැදිලිය. (බිය සමාජ ප‍්‍රගතියෙහ් ලා ප‍්‍රගතිශීලී කාර්යයක් ඉටු කරන බව ද එයම ඊළ`ග අවධියේ සමාජ ප‍්‍රගතියට බාධාවක් වශයෙන් ද ක‍්‍රියා කරන බව මෙහිදී කිව යුතුය.)

දරුවාට අහාර නොදී මව අහාර නොගන්නේ යම්සේද බිරිඳටත් (සහකාරිය හෝ රංචුව) දරුවන්ටත් නොදී පියා ආහාර නොගෙන්නේ යම්සේද, ප‍්‍රාථමික චාරිත‍්‍ර වශයෙන් සලකන දේවල් ප‍්‍රාථමික නිපදවීම් ලෙස සැලකිය හැකිය. ප‍්‍රකෘතිමය ආහාර භුක්තිවිදීම තිරිසන් සත්වයාද කරනා දයෙක් බැවින් එය නිපදවීම යැයි අර්ථ දක්වන්නට නොහැකිය. එ හෙත් නිෂ්පාදනයේ මුල සෙවීම ගංගාවක මුල සොයනවා වැනි අපහැදිලි ක‍්‍රියාවකි ජීව රාජධානියේ ප‍්‍රාථමිකයෙකු වන මී මැස්සා පැණි නිපදවන බැවින් කෘමි ලෝකයේත් නිෂ්පාදනය ඇතැයි යමෙකු කියන්නට පිලිවන එ හෙත් මී මැස්සාගේ නිපදවීම් වල ක‍්‍රමානුකූල සංවර්ධනයක් ඇත්තේ නැත ප‍්‍රකෘති දෙයක් තමන්ට රුචිපරිදි තමන්ගේ සුව පහසුව සඳහා වෙනස් කලේ නම් එය ක‍්‍රමානුකූලව දියුණු කර ගන්නේ නම් නිපදවීම හැටියට සැලකිය හැක්කේ එයයි. ඒ අනුව ගින්දර සොයාගැනීම ආයුධ තනාගැනීම ඔහුගේ නිෂ්පාදනයේ ආරම්භය ලෙස සැලකිය හැකිය.

එහෙත් ගල් ආයුධ හෝ ගින්දර සොයගෙන ආහාර හෝ ඇඳුම් නිෂ්පාදනය කිරීමට පෙර ඔහු සිරිත්-විරිත් නම් දෙවන යථාර්තයට අයත් දේ නිපදවාගෙන තිබිණ. මෙය සංස්කෘතිය යනු ආර්ථික පදනමේ මතු මහල යන මාක්ස් වාදී අර්ථකතනය සමග ගැටිමක් ඇතිවන අදහසක් බව පෙනේ. ඒ සංස්කෘතිය යනු ආර්ථික පදනම විසින් හසුරුවනු ලබන ප‍්‍රපංචයක් ය යන සරල අදහස මාක්ස්වාදී අර්ථ කතනයේ අන්තර්ගතවන බැවිනි.

ගින්දර සොයාගෙන නොතිබුණු ආදී කල්පිත මානවයා ගල්ලෙන් තුළ සතුන්ගේ රූ සටහන් චිත‍්‍රනය කොට තිබීමෙන් පමණක් ම නොව වර්ථමානයේ දියුණුම මිනිසාද ප‍්‍රථමයෙන් උපන්‍යාසයද ඊළගට සැලසුම් කිරීමද ඊළඟට විය හියදම් ආදී නිගමන හා තීන්දු ගැනීම ද ඉන් පසුව ගොඩනැගිම ආරම්භ කිරීම සිදු කරයි. මෙ ම`ගින් අවසානයේ දී නිෂ්පාදනය සිදු කරන බව පිළිගැනීමට අපට සිදුවේ. එනම් පළමුව සිතීම දෙවනුව නිපදවීම යන පිළිවෙලය. සමාජවාදී ආර්ථික ක‍්‍රමය පිහිටුවීමට පෙර බෲනෝ බවර් ප`ඩිවරයාගේ කාලයේ සිට සියවස් දෙකක තරම් කාලයක සිට සමාජවාදී ආර්ථික ක‍්‍රමයක් ගැන උපන්‍යායයන් විවිධ අය විසින් ගොඩ නගනු ලැබුවෝය. පසුව විප්ලවයක් පිළිබඳව උපන්‍යායයක් ගොඩනගමින් පූර්ව සමාජවාදී කාර්යයන් රැුසක්ම සමාජවාදීන්ට කරන්නට සිදුවූ බවත් අපි දනිමු. සමාජවාදී ආර්ථික ක‍්‍රමය අත්හදා බැලූනේ ඊටත් බොහෝ කාලයකට පසුවය. එම ආර්ථික ක‍්‍රමයේ හැඩය කුමක් විය යුතුදැයි මුලින් තීරණය කොට පසුව ක‍්‍රියාවට නැගු බව හැම මාක්ස්වාදියකුම පිළිගත යුතු සත්‍යයකි. එහෙයින් ප‍්‍රථමයෙන් සිතීමත් දෙවනුව නිපදවීමත් යන පිළිවෙල විඥානවාදී හෝ භෞතිකවාදී යන වාර්ගීකරණයට ලඝු කොට බලනවාට වඩා එය මානව ශිෂ්ඨාචාරයේ පිලිවෙල හෙවත් යථාර්තයේ රිද්මය බව තේරුම්ගත යුතුව ඇත. මෙය යක්‍ෂයාගේ ක‍්‍රමය යැයි පාවෙල් ලැන්ඩා කීවෝතින් පුදුම වන්නට දෙයක් නැත.

මේ හැටියට ගත්කල ශිෂ්ඨාචාරය බිහිවූයේ සංස්කෘතියත් සමගම ය යන මතය පිළිගැනීමට අපට සිදුවේ. උපකල්පනයටත් විවෘත මනසටත් ඉඩ හැර පරීක්‍ෂණයටත් නිර්භය අත්හදාබැලීමටත් යොමුවී ශිෂ්ඨාචාරය ගොඩනැගීම යථාර්තයේ රිද්මය හªනාගත් මිනිසාගේ ස්වභාවය ය. මෙබඳු මිනිසා දෘෂ්ඨිවාද වන්දනාකරුවකු හෝ ආධානග‍්‍රාහී, නියතිවාදයෙකු නොවේ. අත්දැකීම් හා ආශාවන් ට සංවේදී පෘතග්ජන මිනිසෙකි. දේව මූල මැවුම්කාර වාදීන් ද සංසාරචක‍්‍රවාදීන්ද, ප‍්‍රකෘතිය වෙත ආපසු යාමට තැත්කරන පරිසරවාදීන්ද, අතීත උරුමයන් සොයා අතීතයට පිය මනින්නද, දෘෂ්ඨි කාන්තාර මවන්නන්ද, යන සියල්ලගේම බර උසුලාගනිමින් ද, වගකීම දරාගනිමින් ද, ලෝකය මිනසාගේ වාසයට දිනෙන් දින සුවපහසු තැනක් බවට පත් කරන්නේ, තම උරමත නැග ඉන්නා සියල්ලගේම චෝදනා අසමින් ක‍්‍රියාත්මක වන අර පෘතග්ජන මිනිසාය. යථාර්තයේ රිද්මයට අනුව ඊට සංවේදීව ක‍්‍රියාත්මක වන ප‍්‍රකෘති ලෝකය ‘යක්‍ෂයාගේ’ ඇනවුමෙන්’ වෙනස් කරන්නාය. නැතහොත් සබෑ යථාර්ථවාදියා ය වර්තමානයේ පාරිභෝගිකවාදියා ලෙස බැනුම් අසන්නේද ඔහුය

ශිෂ්ඨාචාරය සැබවින්ම ඔහුට ණය ගැතිය. ඔහුගේ ගමන් මග වැටී ඇත්තේ අතීතයේ සිට වර්තමානය තුළින් අනාගතය කරාය. දැනුම සොයා ගෙනවිත් මිනිසාගේ ලෝකය ආලෝක කලේ ඔහුය. තිබෙන පිළිවෙල වෙනස්කොට වඩාත් පළදායී අලූත් පිළිවෙලවල් ගොඩ නැගුවේ ඔහුය. ඔහු නැති තැන හෙවත් ඔහුට ක‍්‍රියාත්මක වීමට නිදහස නොලත් තැන මානව වර්ගයා එහෙම පිටින්ම මිහි මතින් අතුරුදහන් වූයේ ය. (ඇස්ටෙක් ශිෂ්ඨාචාරය වැනසී යාම ඊට එක් උදාහරණයක් පමණ) ඔහුගේ උරමත නැගී සිටිමින් ම ඔහුගේ ගමනට බාධා පැමිණුවීම ශිෂ්ඨ සම්පන්න ජන සමාජයකට තරම් නොවේ.

ප‍්‍රගීත් එක්නැලිගොඩ විසිනි ෴